Sunday, March 29, 2015



-- සමුදෙන්න හමු නොවෙමි කිසිදා --

ප්‍රේමය සියල්ලන්ටම ජයගත නොහැකිය. සැබෑ ප්‍රේමය යනු හිමිවීම පමණක්ම ද? අහිමිවීම මත වෛර කිරීමද? යම් හේතූන් මත හිමිනොවන ප්‍රේමයක මතකයන් සමග ජීවත්විය හැකිනම්, ඒ වෙන්වීම වෙන්වීමක්ම නොවනු ඇත. එහෙත් අහිමි ප්රේරමයක මතකයන් අලුත් ජීවිතයක් වෙනුවෙන් අත්වැලක් නොවනු ඇත. කෙසේ හෝ අපගේ සමුගැනීම සමුගැනීමක්ම විය යුතුය. යළි හමුවීමක් මත නිමා නොවන කදුළු කථාවක් ගොඩනැගෙනු ඇත. සිල්පර කොටන් රේල් පීලී දෙකක් යා කළ ද කිසිදින එක්වීමක් නොවේ. අපටද එක්වීමක් සිතාගත නොහැකිය. වෛරයෙන් නොව සියල්ල නිවැරදිව වටහා ගෙන වෙන්ව යන්න. සිනාවකින් මා සනසන්න. මේ යොවුන් ප්‍රේමයක ආයාචනයයි. 

එක්වෙන්න බෑ සබදේ කිසිදා
හැර යන්න මා දෙඅත් හැරදා
සිත් කොනේ දුක් නිමා කරලා
හිනැහෙන්න මට සමා කරලා

මල් මාවතක් නොවූ සෙනෙහෙස
නෙතට කඳුළක් එක් කළා
ඔබට මට එක්වෙන්න බෑ යළි
දෛවයේ සරදම් නිසා

රුදුරු නෙත් සර පහර සඟවා
හිනැහෙන්න මුතුලැලි සලා
සමුදෙන්න හමු නොවෙමි කිසිදා
මතකේ මා සිතේ රඳවා

*** මිථිලා හේමචන්ද්‍ර  ***




-- පායාපං මා සිත් අහසට --

දුරක සිට පෙම් කරමි. දිනෙක හමුවේ යැයි බලාපොරොත්තුවෙන්. මා සෑම රාත්‍රියකටම පෙම් කරමි. සැමදා ඔබ දසුන මා නෙත් යා වෙන නිසා. ඔබේ රුව මා හදවතේ සිතුවම් කර ඇත. ඇතැම් විටෙක ඔබද නොදන්නා සොදුරු සිතුවමක් ලෙස. වස්සානයකින් පසු වසන්තය එළඹෙයි. මාගේ ජීවිතය ද එතරම්ම සොදුරුබව පසක් වෙයි, ඔබ මා අසලම සිටිනවානම්. කවුරුන් ඔබට ළංවෙන්නට වෙර දුරුව ද මා ඔබ වෙනුවෙන් තවමත් බලා සිටිමි. සද අයිති අහසටයි.තරු අයිති අහසටයි. දිනෙක මේ අහස අප එක් කරනු ඇත. එතෙක් මා සෑම රාත්‍රියකම සද තරුවේ ඔබ දෙස බලා සිටිමි.

නිල්වන් අහස් ගැබ නුඹ මට
තනිතරුව ඉඟිකරන හැම රැයකම
සොඳුරුය මහ'ද සිත්තම
සඳ සාවියේ සිතුවම් කරපු දින නුඹ

නිශා කඳුළැලි වගුරන
සොඳුරු වස්සානයකි පැතුමන් රැගෙන එන
තනිතරුව ඉඟිකරන අරුමය
සාවියේ දුටුවෙද ප්‍රේමයයි එය

සියොතුන් ළං වෙන්න වෙරදරන
තනිතරුවේ නොහඩන්න කිසිවිට
සඳට පෙම් බැඳි තරුව විලසට
පායාපන් හෙටත් මා සිත් අහසට

*** මිථිලා හේමචන්ද්‍ර ***





Saturday, March 28, 2015





බොහෝ දෙනෙක් සඳට තරුවට පෙම් කරනවා ඇති. තරුව ඔහු වී සඳවතිය ඇය වූයේ නම්, නිශා අහසේ සොඳුරුබව ඔවුන්ගේ ජීවිතවලටද දැනෙනු ඇත. එහෙත් අහසට සඳත් තරුත් දෙකම අයිති වුවත් තරුවට සඳ හිමිකරගත හැකිද? ඇතැම් ප්‍රේමයන් හරියට අහස වගේ. ඒ හඳ තරු වගේ. එකම අහසක එකම තලයක සිටිද්දි තරුව හඳ ඒ හැමදේම රාත්‍රියට අයිතියිම වගේ ඔවුනොවුනුත් ඔවුන්ට අයිතියි කියලා හිතන්න ඇති.  ඒත් කවමදාවත් ලිහාගන්න බැරි වගේම හිමි කර ගන්න බැරි කතාවක් ඒ තරු වගේම හඳ වටාත් ගෙතිලා තියෙනවා. ඒ හඳට වගේම තරුවට මාත් හැමදාමත් ආදරෙයි.  



සඳ තරුව

තරු කුමරු ඉඟි කළා
සඳවතිය දෙස බලා
නිශා අහසේ ඇඳුණු සෙවනැලි
වළාරොදකට මුසු කළා

සඳවතිය කැළඹූණා
තනිතරුව දුටු නිසා
එකම අහසට අරුම කීවද
හිනැහෙන්න යළි බෑ කියා

වළාරොදකින් සැඟවුණා
හිනැහෙන්නේ යළි නෑ කියා
අහස් උයනේ තරුව තනි වී
නිශා අහසට පෙම් කළා
සඳවතිය යළි එයි කියා

*** මිථිලා හේමචන්ද්‍ර ***