Tuesday, September 11, 2018

ගන්ධබ්බයෙකුගේ සිතුවිලි


ගන්ධබ්බයෙකුගේ සිතුවිලි

          හයියෙන් අඬන්න. නෑ හයියෙන් හිනාවෙයන්. නෑ නෑ. උඹට ජීවිතයක් නෑ. උඹ ඕන තැනට පලයන්. ඇවිදපන්. පාවෙයන්. මගේ හිත විටින් විට මොරගාන්න ගත්තා. කන්න අතට ගන්න බත්පත අතේ තියාගෙන මම ගොඩක් දුරකට පා වෙනවා. නොදැනිම නෙත් අග්ගිස්සෙන් පොදි ගැ‍හෙන කඳුල හෙමීට කම්මුල දිගේ පල්ලම් බහිනවා. මම කොයි ලෝකෙක ජීවත් වෙනවාද කියලා මටම නොතේරෙන වෙලාවල මගේ මනෝකාය මාව දාලා ගොඩක් දුර ගිහින්. හැල්මේ දුවගෙන ගිහින් මට හරි වෙහෙසයි. ඒත් මම කොහෙද දිව්වේ? මටම වෙලාවකට මතක නෑ. උදේම නැගිටිනවා. සුපුරුදු දින චර්යාව. ගොම්මනත් එක්කම ගෙදරට ගොඩ වෙනවා. කාමරේකට වැදිලා දවස ගෙවලා ඉවර කරලා දානවා. ගොවෙනවා. කල්ගත වෙනවා. මම තාමත් බත් එක අතේ තියාගෙන. ඔහු මගේ දිහා බලාගෙන. දන්නෙම නැතිව හීනියට හීල්ලිලා කියලා තේරුනේ ටිකක් වෙලා ගතවෙද්දි. අමාරුවෙන් වගේ බත්පත හෙමීට අත ගගා ඉදලා ගලට දාලා අත හෝද ගත්තා. ආයෙමත් මගේ මනෝ කාය මාව දාලා කොහෙඳ යන්න දඟලනවා කියලා මට තේරුණා. අනේ... ඔයා මට අයිති නැද්ද මේ විදිහට මාව දාලා යන්නම හදන්නේ?

මම කැමතියි හැමමොහොතකම ඔබ මාත් එක්කම ඉන්නවානම්. නැත්නම් මම තනිවෙලා කියලා මට හිතෙනවා. මම හෙමීට කෙදිරුවා. ඒත් ඔහුට ඒක ඇහුණේ නැද්ද මන්දා. පේන මානෙකවත් ඔහු නෑ කියලා මට තේරුණා. ක්ෂණයකින් මට හැමදේම අමතක වෙන්න ගන්නවා. ඒ ඔහු නැති හින්දා. කවුරුවත් මට පිස්සු කියලා කියන්නෙත් නෑ. ඒත් මම දන්නවා මට පිස්සු වෙන්න ඇති කියලා. පාවෙනවා. පාවෙනවා ඉවරයක් නෑ. මේකේ කෙලවරක් නැද්ද කියලා මටම හිතෙනවා. ඇයි මෙහෙම වෙන්නේ. මගේ මනෝකාය ඔයා මගෙත් එක්කම ඉන්න. මම හෙමීට ඔහුට කෙදිරුවා. ඔහු හෙමීට මගේ ළඟට  කිට්ටු වුණ.
සුදු කොඩි වැල් එල්ලිලා ලස්සනට තියෙනවා දකින්න මම ආස කළා. ඒත් මම ඒ සුදු කොඩි අස්සේ ඉන්න දවස වෙද්දි ඔහු මගෙන් ඈත්ම වෙනවාද? නැත්නම් අපි දෙන්නට එකටම පා වෙන්න පුළුවන් ද කියලා හිතන්න මටම තේරෙන් නෑ.

මොකද වෙලා තියෙන්නේ? ඔහු මගේ උරහිස හොල්ලලා මගෙන් අහනවා.

ඔහ්.... මෙච්චර වෙලා මම වෙනම ලෝකෙක ඉදලා තියෙන්නේ කියල මට තේරුන් එනවා. කාලා අත හෝදන් ආවා වුණත් අතේ බත් පිඟාන. ඉඳුල් ගෑවිලා තිබුණු අත වේලිලා. ඔහු අතත් හෝදගෙන ඇවිත් තාමත් මගේ දිහා බලාගෙන.

මොකක් ද අක්කේ වෙලා තියෙන්නේ ?

ඔහු මගේ දිහා බයෙන් වගේ බලාගෙන හෙමීට අහනවා. මට තේරුනා ඔහු ටික කාලෙක ඉදලා මම ගැන, මගේ ඉරියව් ගැන දැඩි සෙවිල්ලකින් හිටියා කියලා. නෙත් අග්ගිස්සෙන් ගලා‍ගෙන යන්න දඟලපු කඳුළ මම නිදහස් කරලා දැම්මා. ඔහු මම හිටි තැනට ඇවිත් මොකුත් හිතාගන්න බැරිව මගේ ඔලුව අත ගාලා හෙමීට ඔහුගේ පපුවට තුරුල් කර ගන්නවා. මට මම ගැනම වෙලාවකට මුකුත් හිතාගන්න බැරිව ළතවෙනවා.

මොකක් ද ඇත්තටම මගේ ජීවිතේ ? මටම හිතාගන්න බෑ. මම පා වෙනවා. හිතේ සැනසීමක් දැනෙන් නෑ මට. මට මැරෙන්න හිතෙනවා. ඒත් මම අසරණයි.

එක පාරට හිතපු ආපු වචන ටික මම ඔහු ඉස්සරහා අත ඇරලා දැම්මා. මගේ ජීවිතෙත් ගන්ධබ්බයි කියලා මට තේරෙන්න අරන් කාලයක් වෙනවා. මම තාමත් පා වෙනවා. මනෝ කාය තාමත් මාත් එක්ක ඉන්නවා ද නැද්ද කියලා මම හොයන්න ගත්තා. ඒත් මනෝකායත් මගේ සිතුවිලි වගේම නිරවුල් නෑ කියලා මම හොදාකාරවම දැනන් උන්නා. 

  
**මිථිලා හේමචන්ද්‍ර**



නුඹ නොදන්නා තරමට


**නුඹ නොදන්නා තරමට** 


අඬන්න අඬන්න කඳුළු උනන්නේ කොහෙන්ද කියලා මම දැනගෙන උන්නේ නෑ. ඒත් ඒ කඳුළු අස්සේ හැමදාම සක්මන් කළේ ඔයාගේ මතකය. ළඟ උන්නත් දුර උන්නත් ඔයා මගේ හදවත වේදනාවෙන් බර කරලා තිබ්බා. තනිකමක් දැනෙන හැම මොහොතකම මගේ හිත ඔයාවම හොයන්න ගත්තා. මේ හැමදෙයක්ම මගෙම වරදද ඔයාගේ වරදද කියන්න මම දැනන් උන්නේ නෑ. එත් නුඹ නොදන්නා තරමටම මම උඹ වෙනුවෙන් හැමදාමත් දුක්විදිනවා. හිනාවෙලා ඉන්නවා කියලා උඹ හිතන් උන්නත් මේ හිනාව ඇතුලේ හැමවෙලේම තියෙන්නේ දුක, කඳුළ කියලා ඔයාට පැහැදිලි කරන්න මම උත්සාහ ගන්නේ නෑ. අත් දෙක අල්ලාගෙන මූණට එබිලා උන්නු දවස්, මගේ ඇස් මානෙට වෙලා උඹ දඟකරපු දවස් හීන විතරක්ම ද කියලා මම හොයන්න උත්සාහ ගත්තා. හැමදාමත් වගේ උඹ කවදාවත් මගේ ආදරේ තේරුම් ගත්තේ නැද්ද කියලා මට වෙලාවකට හිතෙනවා. ඒත් කියාගන්න බැරි ලෝබකමකින් සිත වෙලිලා ගිහිල්ලා. ඒක කරුමක්කාර සිතුවිල්ලක් ද කියලා මම හොයන්න ගත්තා නම් ආයෙමත් වේලිලා ගිය ඇස් දෙක කඳුළෙන් තෙත් වෙයි. මම උඹ වෙනුවෙන් අඬනවා කියලා උඹ කවදාවත් දැනගන්න ඕනත් නෑ. මගේ දුප්පත් ආදරේ හදුනගන්න බැරිවුණ උඹට මම මගේ ජීවිතේ බාර දුන්නත් ඒකත් අන්තිමට හුළඟේ ගහගෙන ගිහින් මටවත් හොයාගන්න බැරිවෙයි කියලා මම බයවුණා. ඒ බයවීම නවතින්නේ නුඹ මගේ ජීවිතේ විනාශ කරා කියන සිතුවිල්ලකින් නෙවෙයි. ඒත් කියාගන්න බැරි, පහදගන්න බැරි මොනාදෝ මන්දා සිතුවිලි නිසා මම තාමත් දුක්විදිනවා. උඹ මේ හැමදේකින්ම දුරස්වෙලා මගේ ඇස් මානෙන් ඈතකට ඇදිලා ගිහිල්ලා. ගෑනියෙක්ට කඳුළ අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් පිරිමියෙක් වුණ මටත් කඳුළේ හුරුපුරුදුකම, සමීපකම ගැන උඹටත් වඩා මම හොඳට දන්නවා. ජීවිතේ ගැන දැන් දැන් ඉගෙනගන්න උත්සාහ ගන්න මම ජීවිතේ ගැන උඹට නිසාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හුස්ම ගත්තත් පපුවේ ඇතුළෙන් ඇවිලෙන ගින්දරත් එක්කම ම ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ නැද්ද කියලත් මට හිතුණා. කාත් කවුරුවත් නැතිගානට කාමරේ ඇදට වෙලා මම බලාගෙන උන්නා. ඇස් දෙක රතුකරගෙන යනවා කියලා දැනුණත් මම හිනාවෙලා ඉන්නවා කියලා පෙන්නන්න උත්සාහ කරා.

මේ විදියට දුක්විදින්නේ මොන හේතුවකට ද? මම ගැන වටිනාකමක් නොදැනෙන ජීවිතයක් වෙනුවෙන් මම හුල්ලන්න තරම් පෙර ආත්මෙක ගෙවා ගන්න බැරි තරමටම ලොකු වරදක් කරලා කියලා මට දැනෙන්න ගත්තා. නිදිමත බේරෙන ඇස් දෙකෙන් මම රැකවරණයක් ආදරයක් හොයන්න ගත්තා. මගේ හිත හැමවෙලේම උඹවම ස්පර්ශ කරන්න ගත්තා. කරුමයක් ද කියලා හිතාගන්න බැරි ඒ රූපේ හැමදාමත් මාව අවුල් කරන්න අරගෙන. ඒ මතකය මාව රිද්දන්න රිද්දන්නම හිත ආදරෙන් ලෝභකමින් පිරෙන්න ගන්නවා. සීතලින් වෙලිලා තියෙන පරිසරයේදී උඹේ උණුසුම හොයන්න මම උත්සාහ ගත්තා. ඒත් අන්තිමට මම තුරුළු කර ගත්තා. ඒ උඹව නෙවෙයි. මගේ ආදරණීය මතකය. උඹේ එකම එක පුංචි වෙනසකින් වුණත් මගේ පපුවේ ඇතුළු කුහරයම රිදුම් දෙන්න ගත්තා. හදවතට විටින් විට දැනෙන්න අරින ඒ වේදනාවන්ට මගේ හදවත පුරුදු වෙන්න අරගෙන. ඒත් දවසක උඹේ ඒ ආදරය නිසාම, ඒ මතකය නිසාම මගේ හදවතත් නතර වෙයිද කියලා සැකහිතෙන්න ගන්නවා. මොකක් කොහොමින් කොහොම වුණත් මම තාමත් වේදනා විදිනවා. ඒ උඹට තියෙන ආදරේ හින්දා. මගේ ආදරේ මටම තියාගන්න ඇරලා උඹ දවසක් කවුරුවත් නොහිතපු විදියට මාව මේ ලෝකේ තනි කරලා දාලා යන්නම ගියා. මගේ ලෝකේ ලස්සන කරාටත් වඩා උඹ මගේ ජීවිතේම පාලු කරලා මහ මූසල සොහොන් පිට්ටනියක් ගානට දාලා උඹත් සොහොනකම වැතිරුණා.

මම තාමත් බලාගෙන ඉන්නවා. ජීවිතේ කොච්චර දුරක් ගෙවිලා ගියත්, මම තාමත් ඉන්නේ අපි මුණ ගැහුණු ඒ අවධියෙමයි. මගේ ජීවිතේට සිනාව ගෙනාපු ඒ කාලෙමයි. මම කොච්චර වේදනා වින්දත් උඹ හින්දා, ඒ වේදනාව ඇතුලේ හැමදාමත් කැකෑරෙන ආදරයක් තියෙනවා. උඹට ඒක ජීවත්ව හිටියත් කවදාවත් තේරුම් ගන්න බෑ කියලා මම හැමදාමත් දැනන් උන්නා.



                                                                                                  ** මිථිලා හේමචන්ද්‍ර **

Tuesday, February 9, 2016



**ආදරෙයි ඔබට මම**

ජීවිතේ මහ කුහකයි. කවමදාකවත් සතුටක් ගෙනත් දෙන්නවත් දන් නැද්ද කියලා ඇඳට වැදිලා සීතලේ ගුලි වෙලා උන්නු වෙලාවක මට හිතුනා. අවුරුදු 21ක් කියන්නේ කොල්ලෙක්ගේ සෙල්ලම් වයස ද නැත්නම් ජීවිතේ ලොකු බරක් තියාගෙන ජීවත් වෙනවා කියන එකද කියලා මම හොයන්න ගත්තා. මගේ ජීවිතේට හැමදෙයක්ම හැම විපර්යාසයක්ම සිද්ද වුණේ මීට මාස 9කට විතර කලින්. අවුරුදු 20ක් පුරාවට ජීවිතේ බර නොදැනුනාද? බරක් පතලක් දැනෙන්න ඔහු ඉඩක් දුන් නැද්ද කියලා මට හිතුනා. මේ හැම රාත්‍රියක්ම සීතලයි. හැම උදෑසනක්ම සීතලත් එක්ක ඇරඹෙනවා. ඒත් ජීවිතේ සුන්දරත්වය වෙනුවට ජීවිතේ බර කරට අරන් උදේ රාත්‍රි සේවා මුරවලට මම පිටත් වෙලා යනවා. ඒත් මම තාමත් කැමතියි එදා වගේ සැහැල්ලුවෙන් අනිත් කොල්ලො වගේ ජීවත් වෙන්න. මේ හැමදෙයක්ම වුණේ මාස 9කට කලින් ඔහු අපිව දාලා ගිය එකෙන්. කවදාමත් හිතුවේ නෑ ජීවිතේ වැරදි ‍වෙලාවක ඔහු අපිව දාලා යයි කියලා. ඒ දේ එහෙම වෙද්දිත් මට ඔවුන් එක්ක ඉන්න බැරි වුනා. රෑ ඇස් අරගෙන දැකපු හීන, පාන්දර ඇහැරිලා නින්දත් නැතිව මොකක්දෝ පහද ගන්න බැරි සිතුවිලි ගොන්නක මම හිරවෙලා උන්නා. කවමදාවත් රාත්‍රියට හඬ නොනැගෙන්න තියන දුරකථනය එදා කවමදාවත් නැතිව සාමාන්‍ය තත්ත්වයේ තියලා. පාන්දර 4 යි ගානට ආව ඇමතුම මගේ මනස අවුල් කරා. ලෙඩ වෙලා රෝහල්ගත කරා කියන ඔහු බලන්න මම පාන්දර බස් එකට නැන්ගා. එක් එක් අයගෙන් එන කෙටි පණිවිඩ, ඇමතුම් වලින් රහසෙන් වගේ සුදු කොඩි සෙලවෙන ගතියක් මට දැනුනා. ගෙවල් කිට්ටුවට එද්දි ඇය කීවේ, මොකක් වුණත් ඔයාට දරාගන්න වෙනවා කියලා. මිදුල පුරා හිටපු මිනිස්සු දැකපු මගේ හිතට මොකක් දැනුනද කියලා මටම හිතා ගන්න බෑ. ඔහු අපිව දාලා ගිහින්. ආයෙ කවදාකවත් එන්නැතිවෙන්නම. ඒත් ජීවිතේ බර කියන එක නොදැනුණ මට අද ජීවිතේ ඇත්ත තත්ත්වය කියලා දුන්නේ ඔයා. ඔව්. හැමදාවත් වගේ සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේ ඉවරයි කියලා ඔයා මට කියලා දුන්නා. ඒ වචනයෙන් නෙවෙයි. ක්‍රියාවෙන්. 

මාස 9ක් ගෙවිලා ගියත් මට තාම මතකයි ඒ දවස. ඔයාගේ නිසල සිරුර බලන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. අනිත් අය වගේම මාත් කාමරේට වෙලා ඇඬුවා. කොල්ලෙක් කියලා මගේ දුක කඳුලෙන් පිට කරලා අරින්න පුළුවන්කමක් නැද්ද කියන්න මම දන්නේ නෑ. හැමෝම නොදන්නවා වුණත් මගේ ඇස් දෙකේ කදුළු පුරවලා හොර රහසෙම ඒවා ගලාගෙන යන්න දුන්න වාර අපමණයි. මගේ තාත්තේ, ඔයාගේ ආදරේ වගේම ඔයා ගැන සිතේ පැලපදියම් වෙලා තිබුණු සෙනෙහස මට දැන් දැන් දැනෙන්න අරගෙන. ඒත් ඔයාගේ ජීවිතේට සතුටක් ගෙන්න මට එදා පුළුවන් වුණේ නෑ. හැමෝම කියන්න ගත්තා මාත් ඔයා ඉද්දි මොකක් හරි රස්සාවක් කරානම් ඔයා සතුටු වෙයි කියාලා. ඒත් ඔයා අද නෑ. මම ඔයා වෙනුවෙන් වගේම අපිට ජීවත් වෙන්න රස්සාවක් කරනවා. ඒත් ඔයා කොහොම පවුල ජීවත් කරාද කියලා කියලා මට අදටවත් තේරෙන් නෑ. හැමදේටම ඕන කරන සල්ලි අද මාව අසරණ කරලා. උපයන සතයක් සතයක් ගානේ රුපියලක් රුපියලක් ගානේ මට අද ඔයාව මතක් වෙනවා. ඒත් ඒ කාලේ ආයෙත් එන් නෑ කියලා මම තාමත් දන්නවා. 

ජීවිතේ ඉස්සරහට තියෙන හැම දෙයක්ම මතක් වෙද්දි ඇයි ඔයා මාව තනියම අසරණ කරලා දාලා ගියේ කියන්න මට තේරෙන්නෑ. එදා පැහැදිලිව තිබුණු ආකාසේ අද මන්දාරමෙන් බර වෙලා. මගේ වගේම ඔයාගෙත් හීන වෙනුවෙන් අද ඉන්නේ මම විතරයි. ඔයාත් මාත් එක්ක උන්න නම් මට මේ තරම් බයක් නොදැනෙන්න තිබුණා. ඒත් හැම ප්‍රශ්නයක් ඉස්සරහම මම අද අසරණ වෙලා. ඔබව මැවෙන හැම මොහොතකම, හීනෙන පෙනෙන හැම මොහොතකම වේලිලා ගිය කදුළු ආයෙමත් අලුත් වෙනවා. අලුත් වෙවී වේලෙනවා. ඒ අතීතය. මේ වර්තමානය. ඒත් ඒ අතීතයේ උන්නු ඔයා අද අපි ළග නෑ. හෙට අපි ළග නෑ. ඒත් ඒ මතකය තාමත් අපි ළග. හැමවෙලේම සිහි කරවන මතකයක් වෙලා. හීන අහුරක් මැද්දේ මැවිලා පේන රූප අතරේ ඔබ රජකම් කරනවා. ඒත මගේ ජීවිතේ ඇදගෙන වැටිලා ඉවරයි. මම ඔයා වෙනුවෙන් නැගිටිනවා. ඒත් හැමදාම මගේ ළගින් ඉදී කියලා හිටපු ඔයා එදාටත් මගේ ළග නෑ. ඒත් මම ඔයාට ආදරෙයි.

**මිථිලා හේමචන්ද්‍ර**

Thursday, December 24, 2015



** සිතුවිලි අතරේ සැරිසැරූ ආදරය **

දෙකම්මුලෙන් ගලාගෙන යන කඳුළු ආයාචනා කළේ සිනහාවට නෙවෙයි කඳුළට. ආයෙ ආයෙ අඬන්න කියලා කඳුළට ආරාධනා කරන්න ගත්තා. ඒත් හිත අස්සේ කියාගන්න බැරි තේරුම් ගන්න බැරි මොකක්දෝ කථා ගොඩක් තෙරපිලා තියෙනවා කියලා මම දැනගෙන උන්නා. සිතුවිලි දුරගිහින් කඳුළැලි විවර වුණේ මමවත් නොහිතපු මොහොතක. වෙන්වීමක් එක්ක ජීවිතේ යම් අහිමිවීමක් තියෙනවා කියලා හිත මොරගාන්න ගත්තාදෝ මන්දා. අහිමිවීම මොකක් ද කියලා කෙනෙක් මගෙන් ඇහුවොත් මට කියන්න තියෙන්නේ අපේ ජීවිතේ නිදහස් කාලේ අපිට අහිමි වුණා කියන එක. අධ්‍යාපන ලබන කාලයේ හිතට ලොකු බරක් වගේ දැනුනේ පාඩම් කටයුතු. වෙලාවකට ආර්ථිකය. හිතාගන්නවත්, පැටලුම් ලිහාගන්න බැරි විදියට මගේ මනස ව්‍යාකූල වෙන්න අරගෙන. මහා හයියෙන් ඇදගෙන වැටුණු වැස්සට අහුවෙලා තෙමිලා මම ගෙට ගොඩ වැදුණා. ඒ වැස්සට අහුවෙලාම මගේ මොළේ පෙගුණවත් ද කියලා මට හිතාගන්න බැරි වුණා.

හිතාගන්නවත් බැරි විදියට මට ආදරේ කරන්න අරගෙන. මගේ ජීවිතේම ඒ සෙනෙහසට බාරදෙන්න පුළුවන්ද කියලා මම මගේ හිතෙන් අහන්න උත්සාහ ගත්තේ නෑ. කඳු‍ළෙන් දෙනෙත් තෙත් වෙලා තියෙනවා දකින්නවත් අකමැති ඒ රුව මගෙන් අයැදියේ සිනහව. අසිරිමත් සිනහව. ඒත් හැමදාටම ඒ වචන නිසාවත් මට හිනාවෙලා ඉන්න පුළුවන්කමක් නෑ නේද කියලා දැනෙද්දි, සිතෙද්දි සිත් අග්ගිස්සෙන් ළතැවුලක් මෝදු වෙලා ඇවිත් නෙත් අග්ගිස්සෙන් හෙමීට පල්ලම් බහින්න අවසර ඉල්ලනවා.

"මට ඔයාව දකින්න ඕන. කීයට හරි ඔයා එනකම් මම එතනටම වෙලා බලාගෙන ඉන්නම්." 

මොන හේතුවකට ඔයා මට එහෙම ආදරේ කරනවාද කියන්න දැනගෙන හිටියේ නෑ. දවසක ඔයාව ලැබෙයිද කියලාවත් දන්නැතිව අපි ළං වුණා. ඒත් ඔයා හැමවෙලේම මම වෙනුවෙන් පැතුමන් පැතුවා.

"  අනාගතේ හරි දරුණුයි. මට අනාගතේ ගැන බය හිතෙනවා. මට ආයෙමත් අපි මුණ ගැහුණු ළංවුණු අතීතෙට යන්න තියෙනවානම්. "  

ජීවිතේ බරක් පතලක් නැතිව සැහැල්ලුවෙන් ගෙවුණු කාලේ නිමා වෙලා. අපේ සමනල කාලේ හෙමීටම ගෙවිලා ගිහින්. දැන් දැන් ජීවිතේ ගැන දැනෙන බය ඔයාට කියලා රිද්දන්න මට ඕනකළේ නෑ. ඒත් මම සිතට දැනෙන ඕන දෙයක් ඔයාට කියන්න උත්සාහ ගත්තා.

"  මොන හේතුවක්ද දන්නෑ මට ඇ‍ඬෙනවා. මට ජිවිතේ ආපස්සට යන්න ඕන. මට ඉස්සරහට යන්න බෑ. මම අනාගතේට බයයි."   මගේ හිත බයවුණු මොහොතක මම ඔයාට කීවා.

"  අඬන් එපා. ඔහොම කියද්දි මාත් අවුල් යනවා. ඔයා බයවෙන්න එපා. මම ආසයි ඔයාව සතුටින් තියලා ඔයා එක්ක ජීවත් වෙන්න.  මට ඔයාව දැන් මුණ ගැහෙනකම් හදිස්සියි." මගෙ කඳුළු පිහදාන්න මගේ ළඟ නොසිටි මොහොතක ඔයත් දුක් වුණා.   

හිමි වීමට වඩා අහිමිවීමට වැඩි ඉඩක් තියෙන කථාවක මාත් තනිවෙලා වගේ. මට කිසිම දෙයක් පැහැදිලිව ලිහාගන්න බැරිව තනියම හීල්ලෙනවා. ඔයා කීවේ කාගේවත් බලපෑම් වලට යටත් වෙන් නැතිව මට කැමති තීරණ ගන්න කියලා. මම හැමදාම තීරණ ගන්න බයයි. කාගෙන් හරි අහලා තීරණ ගන්න මට ඔයා හොඳ අනාවැකි කියන්නෙක් වගේ.

අනාගතේට බය වුණු ඔයා මට ශක්තියක් වුණා. "  කවුරු මොනා කීවත් මම ඔයා වෙනුවෙන් හැමදාම ඉන්නවා. මම ඔයාට ගොඩක් ආදරෙයි. " 

ඔයාගේ වචන මට තාමත් අද ඊයේ වගේ මතකයි. ඒ මතකය අවුරුදු ගාණක් ගතවුණත් මට තවමත් නැවුම්. වියපත් අතැඟිලි අතරේ රැදිලා තියෙන මුද්ද දිහා බලාගෙන මම මිදුල දිහා බලාගෙන උන්නේ ඔයාගේ රුව හීන් අඳුරත් එක්කම ගෙට ගොඩවෙනතුරු.

                                                                                                         ** මිථිලා හේමචන්ද්‍ර**   

 

Tuesday, December 22, 2015

 ** ජීවමාන නුඹ **

අනෝරා වැස්සක් ඇද හැලිලා පරිසරය නිහඬ වුණා විතරයි. සිත් අග්ගිස්සෙන් මෝදුවෙන බලාපොරොත්තුවේ සේයාව, ඔයාගේ රුව තත්පරයකට හරි දැකගන්න එක. පුංචිම පුංචි කාලේ උඹ හරි හුරතලේට මගේ වටේට දැවටි දැවටි උන්නා. කාලේ වගේ දැන් උඹට මාත් එක්ක නිදහසේ කාථාකරන්නවත් වෙලාවක් නෑ. උඹ උඹේ ලෝකෙට වෙලා ඉන්නවා. මම දුර ඉදන් උඹ දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම හැමදාම උඹ එදා වගේම උන්නනම්. මගේ ළඟ දැවටි දැවටි මට පේන මානෙන් හැමවෙලේම දඟකම් කරාවි. ඒත් කාලේ අල්ලලා තියාගන්න බෑ. පුංචියට හිටි උඹ දැන් උස් මහත් වෙලා හැඩකාරියක් වෙලා. වෙනදාට මාත් එක්ක කථා කරන උඹ දැන් කථා කරන්නේ පරිසරයට. පුංචි කාලේ මට මොකක් හරි කරලා හිනාවෙන උඹ අදත් හිනාවෙනවා. පාලුවට තියෙන ගේ ඇතුළෙන් ඇහෙන හිනාවට මම ආස කරා. ඒත් හිනාව මා එක්කත් උඹ බෙදා ගන්නවානම්, මට පාලුවක් දැනෙන් නැතිවෙයි. ජීවිතේ අපිට ළංවෙන වගේම ළඟ උන්නත් ළඟ නෙවෙයි කියලා දැනෙන දේවල් අතරේ උඹත් ඉන්නවා. ඒත් මතකයන් හැමදාමත් නුඹටත් වඩා මට සමීපයි.
උඹ සුදුපාට දිග ඇඳුම ඇදගෙන හැමදාම ගේ ඇතුළේ ඇවිදිනවා. මිදුගේ මල් ගස් අස්සේ හැංගි හැංගි මොනවදෝ හොයනවා. උඹත් එක්ක හැමවෙලේම එතිලා වෙලිලා තියෙන මීදුමටත් මම ආස කරා. හැමවෙලේම ගේ ඇතුළෙම තියෙන සීතලට මම පෙම් බැන්දා. උඹව මගේ ඇස් දෙකට නොපෙනෙන වෙලාවල්වල වුණත් උඹ මේ ගේ අස්සෙම ඉන්නවා කියලා මම දන්නවා.
මිදුල පුරාම ටික ටික මෝදු වෙන තණකොළ, වල් ගස් ටික සුද්ද කරලා දාන්න ඕන කරත් උඹ හැමදාම ඒවා අතරට වෙලා කරන සෙල්ලම දැක්කම මට ඒවා උගුල්ලලා දාන්න හිතුන් නෑ. ගේ ඇතුළේ බැඳලා තියෙන මකුළු දැල් ටික කඩලා දාන්න හිතුවත් උඹ ඒවත් එක්කත් මොනවදෝ සෙල්ලමක් කරන නිසා මම ඒවත් එහෙම්මම තියෙන්න ඇරියා. කලාතුරකින්වත් අරින් නැති ජනෙල් පලු විදියටම ජනේලේ බදාගෙන ඉන්නවා. මාසෙකට සැරයක් තැපැල් කන්තෝරුවට ගිහින් එන මම මගේ නමට එන විශ්‍රාම වැටුපත් අරගෙන මාසෙටම සෑහෙන්න බඩු අරන් එනවා. උඹ විහිලුවටවත් මේ ගේ ඇතුළෙන්, මේ වත්තෙන් එළියට යන්න කැමති වුණේ නෑ. උඹට එළියට යන්න කියලා මම වද කරෙත් නෑ. උඹ ඉස්සර හැමදාම ගෙදරින් එළියට ගියාම හැන්දෑ වෙනකම්ම උඹ එනකම් මම අමාරුවෙන් බලාගෙන හිටියේ.
උදේට ඇඳගන්න සුදු දිග ගවුම උඹ රෑ වෙද්දි ගලවලා දාලා ලා කහ පාට ලස්සන ගවුමක් අදිනවා. මම කවදාවත් උඹ රෙදි හෝදලා වේලනවා දැකලා නෑ. ඒත් ඇඳුම් හරි පිරිසිදුවට තියෙනවා. උදේට එක කරලක් වෙන්න පීරලා ගොතා ගන්න කොන්ඬේ උඹ හැන්දෑ වෙද්දි නිදහසේ පිට දිගෙන් වැටිලා දනහිස දක්වා මුදා හැරලා ඉන්නවා. උඹේ හැඩ පේන්නේ එතකොට. විවෘත ආලින්දයේ පුටුව උඩට වෙලා උඹ පොතකුත් තියාගෙන ඔහේ බලාගෙන හිටියත් පොත කියවන පාටක්නම් පේන් නෑ. අඩ අඳුරේ උඹට කොහොමත් පොත් කියවන්නත් බෑ. උඹ කීයට නිදාගන්නව කියන්න මම දන්නෑ. ඒත් උඹ මටත් කලින් උදේම ඇහැරලා. හැමදාමත් එකම විදියට ගෙවිලා යනවා. ඒත් ජීවිතේ කම්මැලියි කියලා මට කවදාවත් හිතුණේ නැහැ. උඹ මටවත් මම උඹටවත් කථාකරන්නෙම නැති තරම්. ඒත් මම උඹට ඕන මොනාද කියන එකයි, උඹ මට මොනාද ඕන කියන එකයි හොඳටම දැනන් උන්නා. හින්දාම වෙන්න ඇති අපි දෙන්නා අතර තාමත් නොහොඳ නෝක්කඩුවක් නොවුණේ.
ගොඩක් මිනිස්සු මට හිනාවෙලා කථාකරත් මම දන්නවා මම යන්න ඇරලා මට පිස්සා කියලා කියන අය ඉන්නවා. උන් කියනවා උඹ මේ ගෙදර නැහැල්ලු. මම උඹට පෙනුනට, උඹේ හිනාව ඇහුණට ඒක එහෙමම නෙවෙයිලු. එහෙනම් මොකක් ඇත්ත කියලා මටම තේරෙන් නෑ.
මට මතකයි දවසක්දා නුඹ ගොඩක් අය එක්ක මේ ගෙදරට ආවා. හැන්දෑවක වැස්සත් එක්කම උඹ මේ ගෙදරින් ගියා. සුදු කොඩියක් ගේ ඉස්සරහා ගොඩක් දවසක් යනකම් වැස්සට තෙමි තෙමී අව්වට වේලි වේලි තිබුණා. දැන් ඒකත් නෑ. ඒත් හැන්දෑවේ ගෙදරින් ගියපු උඹ ඉක්මනටම ආයෙමත් ආවා. නිසා මට තනිකමක් පාලුවක් නෑ. මට කථා නොකළට කමක් නෑ. නුඹ මාත් එක්කම ඉන්නවා කියලා දන්න නිසා පුංචි කාලේ මගේ දූ සිඟිත්ති මාත් එක්ක ගෙවපු කාලේ ගැන මතකය මට හොඳටම ඇති. මම හැමදාම උඹ දිහා බලාගෙන මතකයක් එක්කම ජීවත් වෙන්නම්.


                                                                                          ** මිථිලා හේමචන්ද්‍ර **