Tuesday, December 22, 2015

 ** ජීවමාන නුඹ **

අනෝරා වැස්සක් ඇද හැලිලා පරිසරය නිහඬ වුණා විතරයි. සිත් අග්ගිස්සෙන් මෝදුවෙන බලාපොරොත්තුවේ සේයාව, ඔයාගේ රුව තත්පරයකට හරි දැකගන්න එක. පුංචිම පුංචි කාලේ උඹ හරි හුරතලේට මගේ වටේට දැවටි දැවටි උන්නා. කාලේ වගේ දැන් උඹට මාත් එක්ක නිදහසේ කාථාකරන්නවත් වෙලාවක් නෑ. උඹ උඹේ ලෝකෙට වෙලා ඉන්නවා. මම දුර ඉදන් උඹ දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම හැමදාම උඹ එදා වගේම උන්නනම්. මගේ ළඟ දැවටි දැවටි මට පේන මානෙන් හැමවෙලේම දඟකම් කරාවි. ඒත් කාලේ අල්ලලා තියාගන්න බෑ. පුංචියට හිටි උඹ දැන් උස් මහත් වෙලා හැඩකාරියක් වෙලා. වෙනදාට මාත් එක්ක කථා කරන උඹ දැන් කථා කරන්නේ පරිසරයට. පුංචි කාලේ මට මොකක් හරි කරලා හිනාවෙන උඹ අදත් හිනාවෙනවා. පාලුවට තියෙන ගේ ඇතුළෙන් ඇහෙන හිනාවට මම ආස කරා. ඒත් හිනාව මා එක්කත් උඹ බෙදා ගන්නවානම්, මට පාලුවක් දැනෙන් නැතිවෙයි. ජීවිතේ අපිට ළංවෙන වගේම ළඟ උන්නත් ළඟ නෙවෙයි කියලා දැනෙන දේවල් අතරේ උඹත් ඉන්නවා. ඒත් මතකයන් හැමදාමත් නුඹටත් වඩා මට සමීපයි.
උඹ සුදුපාට දිග ඇඳුම ඇදගෙන හැමදාම ගේ ඇතුළේ ඇවිදිනවා. මිදුගේ මල් ගස් අස්සේ හැංගි හැංගි මොනවදෝ හොයනවා. උඹත් එක්ක හැමවෙලේම එතිලා වෙලිලා තියෙන මීදුමටත් මම ආස කරා. හැමවෙලේම ගේ ඇතුළෙම තියෙන සීතලට මම පෙම් බැන්දා. උඹව මගේ ඇස් දෙකට නොපෙනෙන වෙලාවල්වල වුණත් උඹ මේ ගේ අස්සෙම ඉන්නවා කියලා මම දන්නවා.
මිදුල පුරාම ටික ටික මෝදු වෙන තණකොළ, වල් ගස් ටික සුද්ද කරලා දාන්න ඕන කරත් උඹ හැමදාම ඒවා අතරට වෙලා කරන සෙල්ලම දැක්කම මට ඒවා උගුල්ලලා දාන්න හිතුන් නෑ. ගේ ඇතුළේ බැඳලා තියෙන මකුළු දැල් ටික කඩලා දාන්න හිතුවත් උඹ ඒවත් එක්කත් මොනවදෝ සෙල්ලමක් කරන නිසා මම ඒවත් එහෙම්මම තියෙන්න ඇරියා. කලාතුරකින්වත් අරින් නැති ජනෙල් පලු විදියටම ජනේලේ බදාගෙන ඉන්නවා. මාසෙකට සැරයක් තැපැල් කන්තෝරුවට ගිහින් එන මම මගේ නමට එන විශ්‍රාම වැටුපත් අරගෙන මාසෙටම සෑහෙන්න බඩු අරන් එනවා. උඹ විහිලුවටවත් මේ ගේ ඇතුළෙන්, මේ වත්තෙන් එළියට යන්න කැමති වුණේ නෑ. උඹට එළියට යන්න කියලා මම වද කරෙත් නෑ. උඹ ඉස්සර හැමදාම ගෙදරින් එළියට ගියාම හැන්දෑ වෙනකම්ම උඹ එනකම් මම අමාරුවෙන් බලාගෙන හිටියේ.
උදේට ඇඳගන්න සුදු දිග ගවුම උඹ රෑ වෙද්දි ගලවලා දාලා ලා කහ පාට ලස්සන ගවුමක් අදිනවා. මම කවදාවත් උඹ රෙදි හෝදලා වේලනවා දැකලා නෑ. ඒත් ඇඳුම් හරි පිරිසිදුවට තියෙනවා. උදේට එක කරලක් වෙන්න පීරලා ගොතා ගන්න කොන්ඬේ උඹ හැන්දෑ වෙද්දි නිදහසේ පිට දිගෙන් වැටිලා දනහිස දක්වා මුදා හැරලා ඉන්නවා. උඹේ හැඩ පේන්නේ එතකොට. විවෘත ආලින්දයේ පුටුව උඩට වෙලා උඹ පොතකුත් තියාගෙන ඔහේ බලාගෙන හිටියත් පොත කියවන පාටක්නම් පේන් නෑ. අඩ අඳුරේ උඹට කොහොමත් පොත් කියවන්නත් බෑ. උඹ කීයට නිදාගන්නව කියන්න මම දන්නෑ. ඒත් උඹ මටත් කලින් උදේම ඇහැරලා. හැමදාමත් එකම විදියට ගෙවිලා යනවා. ඒත් ජීවිතේ කම්මැලියි කියලා මට කවදාවත් හිතුණේ නැහැ. උඹ මටවත් මම උඹටවත් කථාකරන්නෙම නැති තරම්. ඒත් මම උඹට ඕන මොනාද කියන එකයි, උඹ මට මොනාද ඕන කියන එකයි හොඳටම දැනන් උන්නා. හින්දාම වෙන්න ඇති අපි දෙන්නා අතර තාමත් නොහොඳ නෝක්කඩුවක් නොවුණේ.
ගොඩක් මිනිස්සු මට හිනාවෙලා කථාකරත් මම දන්නවා මම යන්න ඇරලා මට පිස්සා කියලා කියන අය ඉන්නවා. උන් කියනවා උඹ මේ ගෙදර නැහැල්ලු. මම උඹට පෙනුනට, උඹේ හිනාව ඇහුණට ඒක එහෙමම නෙවෙයිලු. එහෙනම් මොකක් ඇත්ත කියලා මටම තේරෙන් නෑ.
මට මතකයි දවසක්දා නුඹ ගොඩක් අය එක්ක මේ ගෙදරට ආවා. හැන්දෑවක වැස්සත් එක්කම උඹ මේ ගෙදරින් ගියා. සුදු කොඩියක් ගේ ඉස්සරහා ගොඩක් දවසක් යනකම් වැස්සට තෙමි තෙමී අව්වට වේලි වේලි තිබුණා. දැන් ඒකත් නෑ. ඒත් හැන්දෑවේ ගෙදරින් ගියපු උඹ ඉක්මනටම ආයෙමත් ආවා. නිසා මට තනිකමක් පාලුවක් නෑ. මට කථා නොකළට කමක් නෑ. නුඹ මාත් එක්කම ඉන්නවා කියලා දන්න නිසා පුංචි කාලේ මගේ දූ සිඟිත්ති මාත් එක්ක ගෙවපු කාලේ ගැන මතකය මට හොඳටම ඇති. මම හැමදාම උඹ දිහා බලාගෙන මතකයක් එක්කම ජීවත් වෙන්නම්.


                                                                                          ** මිථිලා හේමචන්ද්‍ර **      

          

No comments:

Post a Comment