Tuesday, February 9, 2016



**ආදරෙයි ඔබට මම**

ජීවිතේ මහ කුහකයි. කවමදාකවත් සතුටක් ගෙනත් දෙන්නවත් දන් නැද්ද කියලා ඇඳට වැදිලා සීතලේ ගුලි වෙලා උන්නු වෙලාවක මට හිතුනා. අවුරුදු 21ක් කියන්නේ කොල්ලෙක්ගේ සෙල්ලම් වයස ද නැත්නම් ජීවිතේ ලොකු බරක් තියාගෙන ජීවත් වෙනවා කියන එකද කියලා මම හොයන්න ගත්තා. මගේ ජීවිතේට හැමදෙයක්ම හැම විපර්යාසයක්ම සිද්ද වුණේ මීට මාස 9කට විතර කලින්. අවුරුදු 20ක් පුරාවට ජීවිතේ බර නොදැනුනාද? බරක් පතලක් දැනෙන්න ඔහු ඉඩක් දුන් නැද්ද කියලා මට හිතුනා. මේ හැම රාත්‍රියක්ම සීතලයි. හැම උදෑසනක්ම සීතලත් එක්ක ඇරඹෙනවා. ඒත් ජීවිතේ සුන්දරත්වය වෙනුවට ජීවිතේ බර කරට අරන් උදේ රාත්‍රි සේවා මුරවලට මම පිටත් වෙලා යනවා. ඒත් මම තාමත් කැමතියි එදා වගේ සැහැල්ලුවෙන් අනිත් කොල්ලො වගේ ජීවත් වෙන්න. මේ හැමදෙයක්ම වුණේ මාස 9කට කලින් ඔහු අපිව දාලා ගිය එකෙන්. කවදාමත් හිතුවේ නෑ ජීවිතේ වැරදි ‍වෙලාවක ඔහු අපිව දාලා යයි කියලා. ඒ දේ එහෙම වෙද්දිත් මට ඔවුන් එක්ක ඉන්න බැරි වුනා. රෑ ඇස් අරගෙන දැකපු හීන, පාන්දර ඇහැරිලා නින්දත් නැතිව මොකක්දෝ පහද ගන්න බැරි සිතුවිලි ගොන්නක මම හිරවෙලා උන්නා. කවමදාවත් රාත්‍රියට හඬ නොනැගෙන්න තියන දුරකථනය එදා කවමදාවත් නැතිව සාමාන්‍ය තත්ත්වයේ තියලා. පාන්දර 4 යි ගානට ආව ඇමතුම මගේ මනස අවුල් කරා. ලෙඩ වෙලා රෝහල්ගත කරා කියන ඔහු බලන්න මම පාන්දර බස් එකට නැන්ගා. එක් එක් අයගෙන් එන කෙටි පණිවිඩ, ඇමතුම් වලින් රහසෙන් වගේ සුදු කොඩි සෙලවෙන ගතියක් මට දැනුනා. ගෙවල් කිට්ටුවට එද්දි ඇය කීවේ, මොකක් වුණත් ඔයාට දරාගන්න වෙනවා කියලා. මිදුල පුරා හිටපු මිනිස්සු දැකපු මගේ හිතට මොකක් දැනුනද කියලා මටම හිතා ගන්න බෑ. ඔහු අපිව දාලා ගිහින්. ආයෙ කවදාකවත් එන්නැතිවෙන්නම. ඒත් ජීවිතේ බර කියන එක නොදැනුණ මට අද ජීවිතේ ඇත්ත තත්ත්වය කියලා දුන්නේ ඔයා. ඔව්. හැමදාවත් වගේ සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේ ඉවරයි කියලා ඔයා මට කියලා දුන්නා. ඒ වචනයෙන් නෙවෙයි. ක්‍රියාවෙන්. 

මාස 9ක් ගෙවිලා ගියත් මට තාම මතකයි ඒ දවස. ඔයාගේ නිසල සිරුර බලන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. අනිත් අය වගේම මාත් කාමරේට වෙලා ඇඬුවා. කොල්ලෙක් කියලා මගේ දුක කඳුලෙන් පිට කරලා අරින්න පුළුවන්කමක් නැද්ද කියන්න මම දන්නේ නෑ. හැමෝම නොදන්නවා වුණත් මගේ ඇස් දෙකේ කදුළු පුරවලා හොර රහසෙම ඒවා ගලාගෙන යන්න දුන්න වාර අපමණයි. මගේ තාත්තේ, ඔයාගේ ආදරේ වගේම ඔයා ගැන සිතේ පැලපදියම් වෙලා තිබුණු සෙනෙහස මට දැන් දැන් දැනෙන්න අරගෙන. ඒත් ඔයාගේ ජීවිතේට සතුටක් ගෙන්න මට එදා පුළුවන් වුණේ නෑ. හැමෝම කියන්න ගත්තා මාත් ඔයා ඉද්දි මොකක් හරි රස්සාවක් කරානම් ඔයා සතුටු වෙයි කියාලා. ඒත් ඔයා අද නෑ. මම ඔයා වෙනුවෙන් වගේම අපිට ජීවත් වෙන්න රස්සාවක් කරනවා. ඒත් ඔයා කොහොම පවුල ජීවත් කරාද කියලා කියලා මට අදටවත් තේරෙන් නෑ. හැමදේටම ඕන කරන සල්ලි අද මාව අසරණ කරලා. උපයන සතයක් සතයක් ගානේ රුපියලක් රුපියලක් ගානේ මට අද ඔයාව මතක් වෙනවා. ඒත් ඒ කාලේ ආයෙත් එන් නෑ කියලා මම තාමත් දන්නවා. 

ජීවිතේ ඉස්සරහට තියෙන හැම දෙයක්ම මතක් වෙද්දි ඇයි ඔයා මාව තනියම අසරණ කරලා දාලා ගියේ කියන්න මට තේරෙන්නෑ. එදා පැහැදිලිව තිබුණු ආකාසේ අද මන්දාරමෙන් බර වෙලා. මගේ වගේම ඔයාගෙත් හීන වෙනුවෙන් අද ඉන්නේ මම විතරයි. ඔයාත් මාත් එක්ක උන්න නම් මට මේ තරම් බයක් නොදැනෙන්න තිබුණා. ඒත් හැම ප්‍රශ්නයක් ඉස්සරහම මම අද අසරණ වෙලා. ඔබව මැවෙන හැම මොහොතකම, හීනෙන පෙනෙන හැම මොහොතකම වේලිලා ගිය කදුළු ආයෙමත් අලුත් වෙනවා. අලුත් වෙවී වේලෙනවා. ඒ අතීතය. මේ වර්තමානය. ඒත් ඒ අතීතයේ උන්නු ඔයා අද අපි ළග නෑ. හෙට අපි ළග නෑ. ඒත් ඒ මතකය තාමත් අපි ළග. හැමවෙලේම සිහි කරවන මතකයක් වෙලා. හීන අහුරක් මැද්දේ මැවිලා පේන රූප අතරේ ඔබ රජකම් කරනවා. ඒත මගේ ජීවිතේ ඇදගෙන වැටිලා ඉවරයි. මම ඔයා වෙනුවෙන් නැගිටිනවා. ඒත් හැමදාම මගේ ළගින් ඉදී කියලා හිටපු ඔයා එදාටත් මගේ ළග නෑ. ඒත් මම ඔයාට ආදරෙයි.

**මිථිලා හේමචන්ද්‍ර**

No comments:

Post a Comment