Sunday, April 5, 2015



අහිමිව ගිය සිත

සුපෙම් හදවත් රාත්‍රියට පෙම් කරන බව රහසක් නොවේ. දෙනෙත් පියාගෙන හෝ සිතුවිලිවලට නිදහසේ සරන්නට ඉඩ දීමට ප්‍රිය කරති. රෑ අහස, සඳ, තරුව ඔවුන්ගේ පෙම් ලෝකය හැඩ කරති. එහෙත් අහිමි වූ පෙම් කතාවක තතු නිදහසේ සුළඟ සමඟ දුරට ඇදී යන්නට ඉඩ දෙන්නේ ද  ඒ සඳ, තරුව නිශා අහසේ රූ සිරි සිත තුළ මවා දෙමිනි.
රෑ අහස සුන්දරය. තැන තැන දිළෙන තරු කැට අතරේ සඳවතියට නෙත් යොමා සිටින තනිතරුවක් සෑම විටම මගේ සිත අමතයි. ජීවිතය කලුවර වූයේ සඳ, තරුව පායා නොආ නිසාය. කිසිම දිනෙක හිමිකරගත නොහැකි ඔබට මගේ ලෝකය එළිය කළ නොහැක. පෙරදී මා සිතුවේ ඔබ මගේ ජීවිතය එළිය කරන්නට පැමිණ ආශි්වාදයක් ලෙසය. එහෙත් එය සිහිනයක්ම විය. මා ඔබ වෙනුවෙන් හැඩූ කඳුළැලි බර වැඩිය. මගේ සිත මටම අහිමි කළ නුඹ නොදැන සිටි මුත්, මා අද ද ඔබ දෙස බලා සිටිමි. රෑ අහසට නෙත් යොමා ඔබගේ රුව සොයන්නට වෙර දරමි. මේ සෙනෙහසේ කඳුළු මිටියාවතයි. 

කිසිදින හිමි නැති පෙම් සිහිනෙක නුඹ
ඉඟිකෙරුවා හොර රහසේ
කලුවල අහසම එළිය කරන්නට
තරු කැටයක් නැත තව දිලුනේ ...............

සිත් ආකාසෙම පැතුමන් පොදි බැඳ
සහන් එළිය වඩිතැයි සිතුවේ
හඩා වැටෙන්නට කඳුළක් නෑ අද
මට මාවම කිම අහිමි කළේ .......

කළුවර සිත තුළ සිහින ගුලිකරන්
සරසවියට මම පියමැන්නේ
ඔබේ දසුන මා නිශා අහස තුළ
නරඹන බව නැහැ ඔබ දන්නේ
පැතුමන් අහිමිව හඩා වැටෙන බව
මගේ සිත ගැන ඔබ නැහැ දන්නේ ............

** මිථිලා හේමචන්ද්‍ර **


No comments:

Post a Comment