--
හීන සහ වසන්තය --
ගොඩක් වෙලාවට
කිසිම දෙයක් ගැන හීන මවන් නෑ. ඒත් වෙලාවකට හිතෙනවා අනේ මමත් එහෙම හීනයක් තිබුණා
නම්. ඇත්තටම හීනවලට මිනිස්සුව ජීවත් කරවන්න පුළුවන්ද? හීන හැමදාමත් අපිත් එක්ක
ඉන්නවා ද?
අපිට කවදාහරි
මේ තැනට යන්න ඕන. මට එතනට යන්න පුළුවන්නම් කොච්චර අපූරුද කියලා ගොඩක් හිත් හෙමි
හෙමිහිට අහනවා. ඒත් එතකොට කාලය ගතවෙලා ඉවරයි. ජීවිතේ අයෙ පාරක් ආ පස්සට යන්න
පුළුවන්කමක් නෑ කියලා මතක් වෙනවා එතකොට. තමන්ට කවදාවත් කොච්චර උත්සාහ කළත් කරන්න
බැරි දේවල් තියෙනවා. නමුත් උත්සාහ කළොත් යම් පමණක් හරි කරගන්න පුළුවන් දේවලුත්
තියෙනවා. බැරි දේවල් නෙවයි පුළුවන දේවල් ගැන ටිකක් හිතලා බැලුවොත් අපිට ටිකක් හරි
සතුටු වෙන්න පුළුවන් තැන් ජීවිතේ ඉතුරු වෙයි.
සකුරා දේශයට
වසන්තය ඇවිත්. එහෙ මිනිස්සු මල් බලන්න යනවා. ලංකාවේ අපේ සරසවියටත් වසන්තය
ඇවිත්...ඒත් ඒ සොඳුරු බව විඳින්න මම දැන් සරසවියේ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මගේ කාලේ
ඉවරයි. ඒත් හිත කියන්නේ මල් බලන්න යන්න. සරසවියේ ගස් අතරේ පිපිලා හිහැහෙන මල්
බලන්න මම හරිම ආසයි. රොබරෝසියා ගස් යට ඇතිරිල්ලක් වගේ මල් වැටිලා ඇති. ඇහැල ගස්
ටික, ඒ පොළොව පුරාවට මල් ඉහිලා ඇති. මගේ හිත ආයෙමත් සරසවියට දුවගෙන යනවා. මැයි
මාර, දම් පාට පොකුරු, මල් රතු පාට මල් පිපෙන මල් වැට... මගේ සිත මටම පාලනය කරගන්න
අමාරුයි...හැමදාමත් මම ආදරේ කරපු ඒ සරසවියේ ගස් කොළන් පිරෙන්න මල් පිපිලා තියෙනවා
දකින්න මම ආස කරා. අපිට සකුරා මල් බලන්න ජපන් දේශයට යන්න බැරි වුණත් ලංකාවටත්
වසන්තය ඇවිදින්... ඒත් ආයෙමත් මට සරසවියට යන්න තියෙනවා නම්...
සුන්දරම
සුන්දම මතකයන් දිගේ ඇවිදගෙන යන්න තියෙනවා නම්. අපිට හැමදාම එකම තැනක අපි ආස තැනක
නැවතිලා ඉන්න බෑ කියලා මගේ හිත තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒත් හිත හැමදාමත් වගේ
කියන දේ අහන් නෑ. මල් ගැන හිතලා සතුටු වුණු හිතට ආයෙමත් ළතැවිල්ලක් එකතු වෙලා.
හැමදේටම හේතු හොයා ගන්න බැරි වුණත් ඇයි මේ තරම් හිතම රිදෙන්නේ.. හිතා ගන්න බැරි
විදියට ඇයි හිත වෙලාවකට හිනා වෙන්නේ... ජිවිතය තේරුම් ගන්න බැරි අමුතු කතාවක්.
මාත් ඒ කතාවේ චරිතයක් විතරයි...
හීනවලට මාත්
හැමදාම ආදරෙයි. ඒ වසන්තය ආයෙමත් එනවානම්, සිත් අග්ගිස්සෙන් එබිකම් කරනවා නම්....
ඒත්...
වසන්තය
ඇවිදින් මා සමඟ නොව ඔබ සමඟ ..............
මම හිනාවෙන්න
උත්සාහ ගත්තා... ඒත් අන්තිමට නෙතඟින් වැටුණු කඳුළක් මගේ හිනාව උදුරලා ගත්තා..
හරියට වසන්තය මගේ ජිවිතයට අහිමි කරා වගේ .... ඒත් මම උත්සාහ කරනවා..කවමදාහරි මටත්
හිනා වෙන්න පුළුවන් වෙයි...
වසන්තයේ මල්වල
අසිරිය විඳින්න මම බලාගෙන ඉන්නවා. ජපානයේ අය මල් බලන්න යනවා වගේ සරසවියේ සුපිපුණු
මල් කෙසේ වෙතත් ගමේ සුන්දරත්වය අතරේ මට හිනාවෙන්න පුළුවන් වෙයි.
නුවරට යන හැම
වාරෙකදීම මම ගොඩක් ආසාවෙන් දොර පැත්තට වෙන්න වාඩි වෙලා ආවේ.. ආපහු එද්දි අනිත්
පැත්තෙන් වාඩි වුණා. බස් එකේ යද්දි පේරාදෙණිය මල් වත්තේ ඇතුළ හරියට පෙනුනේ නැතත්
පාරේ අයිනේ කහපාට මල් ගස් මල් වලින් වැහිලා තියෙනවා බලන් ඉන්න මම ආස කරා. බස් එක
යන්න ඇරලා ආයෙ ආයෙ පිටිපස්ස හැරි හැරි බැලුව. නුවර තැනින් තැන තියෙන රොබරෝසියා
ගස්වලත් මල් පිපිලා හිනාවෙනවා දකින්න මම ආස කළා. මම මේ වසන්තය දුටුවේ එහෙමයි.
ළගින් බැලුවත් දුරින් බැලුවත් වසන්තය වසන්තයමයි. ඒ සොඳුරු වසන්තයමයි.... ඒ ගහ කොළට
මම තාමත් ආදරෙයි.....
*** මිථිලා හේමචන්ද්‍ර ***