Wednesday, November 26, 2014





අහිමි කව

රාත‍්‍රි අහස දෙස බලා සිටින්නට ඈ සැමදාමත් ප‍්‍රිය කළාය. සඳ සාවියට නුදුරෙන් දිලෙන තරු කුමරු සැමදා සඳගේ තනි රකිනු ඇතැයි සිතුවද නොසිතූ ලෙසින් සඳට ළංවිය නොහැකි දුරින් දිදිලූ තාරකාව සඳටත් නොකියාම දුර ගමනක ගොසින්ය. තවත් තරුවකට නුදුරින් එළිය දෙන්නේ ඒ තරුවදැයි වටහා ගත නොහැකිව නිර්මාණිගේ නෙත් කඳුළින් තෙත් වූයේ ඇයටත් නොදැනීමය.

‘‘ නිර්මා ..... ඇයි ? වෙලා එළියේ? එන්න යමු ඇතුළට ’’ උමෝදා නිර්මාණිගේ අතින් ඇද්දාය. එහෙත් ඈ නිහඬව නොසෙල්වී ඈත අහස දෙස බලාගෙනය.
‘‘ ඔයා ඔය අඬනවාද නංගී? ’’ නිර්මාණිගේ සුසුම් හඬ උමෝදාගේ සිත සලිත කළේය. ඈ නිර්මාණි ඉදසිටි බැම්ම මතින් ඉඳ ගත්තාය.

නිර්මාණිට තම ජීවිතය පාලු වෙලා කියලා දැනෙන්න පටන් ගත්තේ අදක ඊයෙක් නම් නොවේ. දැන් දැන් වැඩි වැඩියෙන් ඒ වෙනස දැනෙන්න අරගෙන කියලා දැනෙද්දි ඇගේ සිත වේදනාවකින් පෙළෙන්නට විය. මව හා පියාගේ වියෝවෙන් පසු ඇයට ඇගේ කියලා ලෝකේ ඉතිරි වුණේ අයියයි මල්ලියි විතරයි.

‘‘ මොකද කෙල්ලේ මේ? ඔහොම අඬනන තරමට මොකද වුණේ ඔයාට? ’’ උමෝදා නිර්මාණිව තමන්ගේ පැත්තට හරවා ගත්තාය.
‘‘ මට තේරෙන් නෑ. ඒත් මගේ හිතේ වේදනාවක් දුකක් තියෙනවා. මට ඒක කියාගන්න තේරෙන්නේ නෑ. මට මෙහෙම්ම පොඩ්ඩක් ඉන්න දෙන්න ’’

මිදුලේ තනිවුණු නිර්මාණිගේ සිත ඈටත් නොදැනිම අතීතයට ගෙන ගියා. හසරැල්ල, කඳුලැල්ල සොයාගෙන දිතු ගමනක යෙදුණේය. ජීවිතයේ මහා ලොකු බලාපොරොත්තු නැතත් සරසවිය ඇගේ ප‍්‍රධාන අරමුණ මව, පියාගේ සිහිනය එය බවම දැන දැනය. එහෙත් ...... ඇගේ සරසවි සිහිනය ඉටුවන විටත් ඈත් සමඟ උන්නේ ඇගේ පියාණන් පමණයි. උතුම් පිං බිමකට පා තබනවා වැනි හැඟීමකින් සරසවියට පැමිණි ඇගේ ජිවිතයේ අත් වාරුව බිද වැටුණේ ඇය නොසිතපු විදියට. කාලයත් සමඟ දවසින් දවස ගෙවෙන ඇගේ ජීවිතය අබියස නෙත් සඟලක් නැවතී ඇති බව ඇය නොදැන සිටියාය.

සැමදා රාත‍්‍රියේ නුබ ගැබ දෙස බලා සිටි නිර්මාණි දුටුවේ සඳට ළංවීමට නොහැකිව නුදුරින් දිලෙන තාරකාවය. ඇගේ නෙත් සෑම රාත‍්‍රියකම සෙව්වේ සඳහා තරුවයි. සරසවි නේවාසිකාගාරයේ කවුලුව අතරින් එබිකම් කරන තරුව වගේම ඒ නෙත් සඟලත් නිර්මාණිව සොයන්නට අරගෙන නොබෝ කලක් ගත වී ගොස්ය.

‘‘ නිර්මාණි, කෙනෙක් ඔයාට කැමතියිලූ. දන්න තරමින් හොඳ ළමයෙක්. කැමතිනම් හිතලා බලන්න. ’’ උමෝදා දිනෙක නිර්මාණිට පැවසුවේ ඒ කවරෙක්දැයි පෙන්වමිනි.
ඇයට සරසවි පේ‍්‍රමයක් පිළිබඳ සිහින නොතිබුණි. එහෙත් කාලයත් සමඟ ඇගේ නෙත් ඇයටත් නොදැනිම ඒ රුව සොයන්නට වූයේ කිමදැයි අරුත් සොයන්නට ඇය වෙහෙස නොවූවාය. ජීවිතය පිළිබඳව කියාදෙන්නට ළඟක හෝ තම ජීවිතයේවත් නොසිටි දෙමව්පියන්ගේ මතකය නැවත නැවතත් සිහිපත් විය. රාත‍්‍රියේ මිදුලට වී කල්පනාවේ සිටි නිර්මාණිගේ ගත සිපගත්තේ සිහින් මද නළකි. නැවුම් හැඟුමන් සිතට ආරාධනා කළ මුත් ........ ඒ මතකය සිහිනයක්ම නොවේදැයි නිර්මාණිට සිහිපත් විය. අතීත මතක නටඹුන් අතරේ සැරිසරන ඇගේ සිත යථා මනෝභාවයට පත්වුවද  නැවත නැවතත් ඒ අතීතයම සොයා පියමං කරන්නට විය. ඈ එතරම්ම ඒ අතීතයට ඇලුම් කළාය. දෙනෙත් පියාගත් ඈ සුළගේ පහස විදිමින් ඒ මතකය යළි යළත් සිහි කළේ හද කකියන වේදනාවකින් හා මිහිරියාවකිනි.

නැවුම් අරුණලු සමඟින් අලූත් දවසක උදාව පරිසරයේ සුන්දරත්වයද වැඩි දියුණු කර ඇති සේය. සරසවියේ පිපී හිනැහෙන ඇහැළ, මැයි මාර, දම් පාට මල් හා අනෙකුත් මල් අලූත් අවුරුදු අසිරිය කියා පෑවා මෙන්ම නිර්මාණිගේ සිතද නැවුම් හැඟුමින් ප‍්‍රබෝදමත් කරන්නට සමත් විය. නෙක වර්ණයෙන් පිපී හිනැහෙන අරලියා මල් පොකුරු පින්නෙන් පෙඟුණු තණ පඳුරු කවමදාවත් නැතිව අලූයමින් සරසවියට පැමිණි නිර්මාණිගේ නෙත් ගත්තාය.

‘‘ මට පොඩි වැඩක් තියෙනවා. ඔයාගෙන් උදව්වක්  ඕන. ’’ මිතුරෙක් ලෙසින් ඈ වෙත ළං වන බව පෙන් වූ ඔහු ඔහුගේ සිතේ පැවති මෙන්ම ඈ නොදන්නේ යැයි සිතා සිටි, එහෙත් ඈ දැන සිටි වෙනත් බැඳීමකට ඇරයුම් කරන්නට වූවේය.

අහෝ ....... ඔහු එය පැවසීමට එතරම් ඉක්මන් වේ යැයි නොසිතුනා ද නොවේ. එහෙත් පිළිගත නොහැකි ඇරයුමක් අබියස සුසුම් හෙලනු මිස ඈ අන් කවරක් නම් කරන්නද? පේ‍්‍රමය සිතට දැනෙන යුගයක එය පිළිගත නොහැකි බව පැවසීමට ඇයට අපහසු විය. ඔහු එය කෙලෙස පිළිගනීවිද යන සැකය ඇයට ඇති වූයේ නිතැකින්මය. යෞවනත්වය අබියස පේ‍්‍රමයේ නාමයෙන් ඉකිබිදින සරා සඳ සේ ඈ ඒ නෙතුවට වසන් වී පේ‍්‍රමය ලැබ නොගෙනම සමු දුන්නාය. එහෙත් ඒ හදවත තව තවත් නිර්මාණි වෙනුවෙන් බලා සිටින බව ඇය දැන උන්නාය. සිතට හදට දැනෙන කුලුදුල් සෙනෙහසක අරුමය අබියස ඈ තම සිත වසන් කර ගන්නට තැත් කළාය. එහෙත් ඔහු??? නිර්මාණි වෙනුවෙන් හටගත් සෙනෙහස ඔහු කියා පාන්නට වූයේ ඈ පැවසූ හේතු සාධක පිළිබඳව එතරම් තැකීමකට නොගෙනය.

‘‘ මට බෑ කාගෙවත් ජීවිතයක් අවධානමක දාන්න’’ නිර්මාණි දුලංජන දෙස බලාගෙනම පැවසුවාය.
‘‘ ඔයාගේ ප‍්‍රශ්නෙට පිළියමක් නැතිද? ’‘ සරසවි පුස්තකාලයේ දි සිය සෙනෙහස ගැන පැවසූ ඔහු නිර්මාණිගෙන් විමසා සිටියේ ඇගෙන් සුබවාදී පිළිතුරක් බලාපොරෙත්තුවෙනි.
‘‘ නෑ මේ ප‍්‍රශ්නෙට උත්තරයක් නෑ. ඔයා ළගත් ඒකට උත්තරයක් නෑ නේද? ’’ නිර්මාණිව සෘජුවම දුලංජනගෙන් විමසා සිටියාය.
‘‘  ඕනම ප‍්‍රශ්නයකට උත්තර තියෙනවා. මම  ඕවා විශ්වාස කරන් නෑ. ඔයා කැමති නම් ඒ ඇති ’’
‘‘ ඒත් මට කාගෙවත් ජීවිතයක් අවධානමක දාන්න බෑ ’’ නිර්මාණි කල්පනාබරව පැවසුවේ සිතේ ස`ගවා ගත් ශෝකයෙනි.

දුලංජන කිසිත් නොදොඩාම නිර්මාණි දෙස බලා උන්නාය. ඔහුගේ නෙත් පහස දරා ගත නොහැකිව නිර්මාණි සටහන ලියන්නට වෙර දැරුවාය. සිත නොසන්සුන්ය. ජිවිතයේ ප‍්‍රථම වරට දැණුනු පේ‍්‍රමයේ පහස තමා අහිමි කර ගන්නා බව දැන දැනම සිත සනසා ගන්නට වෙර දැරුවාය.

‘‘ කමක් නෑ. අපිට යාලුවෝ වගේ ඉන්න පුලුවන් වෙයි. ’’ බොහෝ වේලාවක් නිහඬව සිටි දුලංජන සෙමින් පැවසුවේය.

ඔහු කුමක් කෙසේ පැවසුවද නිර්මාණිගේ සිත කියාගත නොහැකි මනෝභාවයන්ගෙන් වෙළෙන්නට විය. ඔහුගේ මතකය තම සිත තුළ සුරැකිව පවතින බව ඈ දැන උන්නාය. දිනෙන් දින ඒ රුව තම නෙත් අබියසම රැුදෙන බවත්, ඒ මතකය තම හදවතට සමීප වන බවත්, දිනෙන් දින ඒ රුව තම නෙත් මානයෙන් දුරකට ඇදෙන බවත් ඈ බලා උන්නාය.

කවදාද ආයේ එන්නේ             -     හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ          -     දැකගන්න ඔබේ දසුන්

දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ වලින් ඔහු ඔහුගේ සිත විවර කළේය. එහෙත් එය එලෙසම නොවන බව හැඟවීමට මිතුරියකට එවන සේ යමක් සටහන් කර එවීමට තරම් ඔහු පරිස්සම් වූවේය. ඔහු තමාගේ සිතට ඈ පිළිබඳව නොඅසනු වස් තහනම් වැටකඩොලු බඳින බවට පොරොන්දු වුවද එය එලෙසම සිදු නොවන බව දැක නිර්මාණී අසරණ වූවාය. ඇයට තම සිත සඟවා සිටින්නට ඉමහත් පරිශ‍්‍රයක් දරන්නට සිදු විය.    
සරසවිය සුන්දර කළ ඇහැළ මල් වියැකිලා. සරසවි මානවකයන් අතර ඔබේ මුව ගොලු වෙලා. දෛවයට අභියෝග කරන්න යැයි පැවසූ ඔහුගේ රුව සරසවියේ ඈ නෙත් නොගැටෙන්නට විය.
ආදරෙයි ඔබට මම දිවිය ඇති තුරාවට - හිමි නොමැති මුත්
ඔහු පිළිබඳ මතකය සිහි වී නිර්මාණිගේ නෙතේ කදුලු අලුත් වන්නට විය. සිතට දැනුණු කුලුදුල් සෙනෙහස අබියස ඉකිබිඳින යුවතිය....... සිතේ පැවති සෙනෙහස සඟවා ගෙන සමුදුන්නේ තමාම නොවේද? තමාගෙන් දුරස්ව මතකය අමතක කරන ලෙස පැවසූ ඈම වියැකුණු, අහිමි සෙනෙහස වෙනුවෙන් දුක්විදි. එහෙත් එදා ඈ සිත සතුටු කළ රුව අද වියැකී ගොස්ය. දෙනුවන් රවටනු සඳහාවත් ඒ රුව නෙත් අබියස නොරැුදී දුරකට ඇදී ගොස්ය. එහෙත් ඒ මතකය ජීවමානව ඇගේ හදේ ලැගුම්ගෙනය.
‘‘ නිර්මාණි, හොඳටම ? වෙලා ඇතුළට එන්න.’’ උමෝදා නැවතත් පැමිණ නිර්මාණි ඇමතුවාය. අඳුරේ බංකුව මත ඉඳගෙන කල්පනාවේ සිටින නිර්මාණි පිළිබඳව උමෝදාට ඇත්තේ දුකකි. නිදහසේ සිටි නිර්මාණිගේ සිත දුකින් පීඩාවට පත්ව ඇත.
‘‘ නිර්මා, ඒ දවස්වලම වෙන දෙයක් වෙද්දෙන් කියලා දුලංජනට කැමති වෙන්නනේ තිබුණේ ’’ උමෝදා යෙහෙළියගේ හිස පිරිමදිමින් පැවසුවාය.
‘‘ ඔහොම සරල විදියට මට හිතන්න බෑ. වචනෙන් නොකීවට එයා දැනන් හිටියා මම කැමති කියලා. ඒත් මට ඒ ළමයාගේ ජීවිතේ වටිනවා. කාලයත් එක්ක මට හිත හදා ගන්න පුලුවන් වෙයි උමෝ. මම එන්නම් ඔයා යන්න ඇතුළට ’’
අහසේ තරු රටා මත ජීවිතය, අනාගතය පදනම් වීම කොතෙක් දුරට සත්‍යය දැයි පිළිගැනීමට හෝ එය බැහැර කිරීමට නිර්මාණිගේ සිත් නොදුන්නේය. කාලය ගෙවී ගොස්ය. ඒ සරසවි ?නෙන් ඔහු පිටව ගොස්ය. එහෙත් නිර්මාණිගේ හදවත ඔහුගේ මතකයත් සමඟය. ඒ අතීතය දෙනෙතින් කඳුලක්ව ගලා බසී.
මා නෙත් ඔබ නෙත් අබියස නතර වූවා නොව, ඔබ මා වෙත පැමිණුනේය. දෙනෝදහක් ගැවසීගත් සරසවි බිමේදී ඔබගේ නෙත් මා අබියස නතර වූයේ කිමද? ඔබ නොමැති බව දැන දැනම අදද මා නෙත් ඔබ රුව සොයා ගමන් කරයි......... නිර්මාණී සිතන්නට වූවාය.
අලංකාරව එළිය දුන් සඳ වළාවෙන් වැසී යන්නට විය. ආලෝකය ලබා දුන් විදුලි බුබුල එක්වරම පුපුරා ගියේය.
‘‘ උමෝ, එළියේ බල්බ් එක පිච්චුනා. ’’ නිර්මාණි සන්තාපයෙන් කාමරයට පැමිණ පැවසුවාය. කිසිවක්ම නොපැවසූ උමෝදා සිය ජංගම දුරකථනය නිර්මාණි අත තැබුවේ කිසිවක් නොපවසමිණි.
‘‘ ඇයි ? ’’ කිසිවක් වටහා ගත නොහැකිව නිර්මාණි යෙහෙළිය දෙස බැලූවාය.
‘‘ මැසේජ් එකක් ’’ උමෝදා හැඟීම් විරහිතව පැවසුවාය. යෙහෙළියගේ වෙනස නිර්මාණිය වටහා ගත නොහැකි විය.
‘‘ කාගෙන්ද? මොකකටද? මට තේරෙන් නෑ ’’
‘‘  ඕක බලන්නකෝ නිර්මා, එතකොට ඔයාට තේරෙයි ’’
නිර්මාණි, තව දුරටත් ඔයා මට යාලුවෙක් විතරයි. මම ගැන  බලන්න එපා. කවුරුවත් මම ගැන හොයනවාට මම කැමති නෑ - දුලංජන
දුලංජන නිර්මාණිට සමු දී අවසන්ය. නෙතට කඳුලක් තවත් නම් කුමටද? සඳ තනිකර දමා තරුව දුර ඈතකට ඇදී ගොස් ඇති බව නිර්මාණි දුටුවේ සත්‍ය පසක් කර දෙන්නටය. නිර්මාණි ඇදට වී දෙනෙත් පියා ගත්තාය. ලෝකයම තමා අතැර ගොස් ඇති බව ඇයට දැනෙන්නට විය. එක්වරම දෙනෙත් විවර කළ නිර්මාණි ඇදෙන් නැගී සිටියාය. උමෝදාට කිසිවක්ම වටහා ගත නොහැකි විය.
‘‘ නිර්මා...... ’’
‘‘ උමෝ මම ජීවිතේට මුහුණ දෙන්න  ඕන. දුලංජන ආවා වගේම ගියා. මම මගේ අම්මා තාත්තාගේ බලාපොරොත්තු ඉටු කරන්න  ඕන ’’ හඬමින්ම නිර්මාණි සටහන් පොතක් දිග ඇර ගත්තාය. පොතේ අකුරු බොඳ කරමින් ඇගේ නෙතින් කදුලු ගලනා බව ඇයට පිටුපා සිටි උමෝදා නොදැක්කාය. දුලංජනට නොදැනුණේය. 


                                                                                                                මිථිලා හේමචන්ද්‍ර

No comments:

Post a Comment