Wednesday, August 19, 2015

** රාත්‍රිය සහ හුදෙකලාව  **

සීතලකින් මගේ ගත වෙළෙන්න අරගෙන. ගත ද සිත ද කියලා වෙන් කරලා හිතාගන්න බැරි තරමට මගේ මනසේ නිරවුල් බවක් තිබුණේ නෑ. මගේ හිතේ තියෙන ගින්නෙන් පරිසරයේ තියෙන සීතල පිච්චිලා යනවා කියලා මට දැනෙන්න ගත්තා. මිදුලේ තිබුණු ගල් බංකුවක් මතට වෙලා මම හුදෙකලාවේ බලාගෙන උන්නා. මිදුලේ තිබුණු එක ගල් බංකුවක් පාලුවට ගිහින්. හරියට මගේ හිත වගේ. ඔයත් මගෙත් එක්කම මගේ පාලුව මැකෙන්න ඉස්සර උන්නා වගේ බංකුවේ ඉදන් ඉන්නවා නම්. රෑ අහසේ දිලෙන තනි තරුවටයි සඳ සාවියටයි අපි දෙන්නා ගොඩක් ආදරේ කරා. මම අද තනියම හඳ දිහා බලාගෙන ඉන්නවා. ඔයාට මෙතනට එන්න කියලා කෙටි පණිවිඩයක් හරි යවන්න පුළුවන්නම් මම එහෙම හරි ඔයාව මගේ ළඟට ගෙන්න ගන්නවා. ඒත් ඒ හැමදේම අතීතෙටම බාර දෙන්න වෙලා. හුදෙකලාවෙම අහස මුදුනින් මෝදුවෙලා තියෙන සඳසාවිගෙන් වෑහෙන එළියට මම ලෝබකම් කරා. මීදුමත් එක්ක විටින් විට අඩු වැඩි වෙන සඳ එළිය අල්ලගන්න මම මගේ අත දිගු කරා. ඒත් කොහේදෝ ඉදන් විග විගහට වගේ ආපු වළාකුලකින් හඳේ එළිය මකලා දැම්මා. 

මගේ හිතේ ඔයා වෙනුවෙන් සෙනහස ගුලිවෙලා තියෙනවා කියලා මට දැන් දැන් දැනෙන්න ගන්නවා. ඒ සෙනෙහසත් එක්කම ඔයාව තුරුළු කර ගන්න මට ඕන කරා. ඒත් මම විතරක්ම තනියම. මට පුළුවන් වුණේ මේ සීතල මද පවනට තුරුළු වෙන්න. මේ හඳ එළියට තුරුළු වෙන්න.

මීදුමත් එක්කම ඇඟට සිසිලසක් දැනෙන්න ගද්දි මට මතක් වුණේ වැස්ස. අපි දෙන්නා ගොඩක්ම වැස්සට සමීපයි. අපි ඉස්සරලම තනියම පන්සලකට ගියෙත් වැස්සෙම තමයි. සමහර දවස්වලට ඔහේ අත් අල්ලගෙන ගොඩක් දුර ඇවිදගෙන ගියා. වැස්සේ තෙමෙන්න ආස කරා. වැස්සට තෙමෙන්න අවස්ථාවක් එද්දි ඔයා ඇඳගෙන හිටියේ සුදුපාට ඇඳුමක්. ඒ ඇඳුමෙන් ඔයා වැස්සට තෙමෙනවා දකින්න මම කැමැති වුණේ නෑ. ගොඩක් ඇස් ඔයා දිහාව බලයි කියලා මම බයවුණා. වෙලාවකට වැස්සට වෛර කරපු මම වැස්සේ සුන්දරත්වය විඳින්න පුරුදු වුණේ ඔයා නිසා. ඒ වගේම තමයි මේ අහසත්. හැමදාම රෑට එළියට ආවත් මම හඳ දිහාවත් තරු දිහාවත් බලන්න පෙලබුණේ නෑ. ඒත් ඔයා හඳ ගැන තරු ගැන එක එක කථා කීවා. අපි දෙන්නට හඳ තරු අතරේ ජීවය දුන්නා.

" මම නැති දවසක ඔයා අඬන්නේ නැතිව ඉන්න ඕන හරිද? "

ඔයා මගේ කඳුළට වැට බැන්දා. ඒත් අද මම හුදෙකලාවේ. ඔයාගේ මතකයත් එක්කම ඉන්නවා. තේ වත්තට වෙලා හැන්දෑවේ ගොඩක් වෙලා මම බලාගෙන උන්නා. ඔයා මා එක්ක තේ වත්තේ කොච්චර ඇවිදලා ඇද්ද? හැන්දෑවට ඈතින් පේන කඳු මුදුන දිහා තේ වත්තේ මැද තියෙන ගල උඩට වෙලා අපි බලාගෙන උන්නා. ඒත් අද මායි හුදෙකලාවයි විතරයි.

ඉස්සර ඔයා මාවවත් මම ඔයාවවත් ගණන් ගත්තේ නෑ. ඒත් දෛවය අපි දෙන්නව එක් කරා. මම ගොඩක් කල් ඔයා දිහාවේ බලන් උන්නා කියලා ඔයා දැනගෙන හිටියෙත් නෑ,

"ඔයාගේ හිතේ දැන් වගේම ඉස්සරත් මට ආදරේ තිබුණද?" ඔයා දවසක් මගේ ළඟට වෙලා හෙමීට ඇහුවා. ඒත් ඔයා මගේ ඇස් දෙකෙන් උත්තර හොයන්න ගත්තා.

"නැතිව ඇති. දැන් එදාට වඩා මම ඔයාට ආදරෙයි. "  මම හෙමීට කීවා.

ඔයා හරි ආදරෙන් මගේ දිහාවේ බලාගෙන උන්නා. ඒත් මොකක්දෝ වේදනාවක් හුළඟේ අරින්න වගේ ඔයා ගැඹුරු හුස්මක් ඔහේ පා කරලා ඇරලා මගේ උරහිසට වාරු වුණා.

මම ඔයා ගැන හීන මැව්වා. මම ඔයාව ආදරෙන් බලා ගන්න විදිය ගැන හැමවෙලේම හිතුවා. පුංචි පොඩිත්තොත් එක්ක හැන්දෑව ගත කරන විදිය..... ඒ හැම දෙයක්ම මගේ හීනවල තිබුණා.
මිදුලේ ගල් බංකුවෙන් මම ගේ ඇතුළට ගියත් සාලෙට වෙලා ඉන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. මම ඇඳේ පෙරළිලා ඔයාගේ මතකය සිහි කරන්න ගත්තා. බිත්තියේ ගහලා තියෙන පොඩි එකාගේ පින්තූරේ මගේ දිහා බලලා හිනා වෙනවා. ඒත් ඇරලා තියෙන ජනේලයෙන් මිදුල ඉස්සරහා තවමත් හුළඟට සෙලවෙන සුදු කොඩිය දැකපු මගේ ඇතුළු හදවත පිචිචිලා ගියා. ඔයා අපේ සිඟිත්තත් එක්කම මාව දාලා ගිහින් දවස් හත ඉවර වුණා විතරයි. ඒත් මම මේ හැමදෙයක්ම හීනයක් වගේ. කවදාවත් නොදැකපු ඒ සිඟිත්තවත් ඔයාවත් මට කවදාවත් ආයේ හම්බෙන් නෑ.  මම ඔයාට ආදරේ කරා. හැමදාටම ආදරේ කරනවා. රෑ අහසේ හඳ වෙලා ඔයා පායන්න. මම හැමදාමත් බලාගෙන ඉන්නම්.

** මිථිලා හේමචන්ද්‍ර **


 

   

No comments:

Post a Comment