** වැස්ස සහ ඇය **
හමාගෙන එන සීතල හුළඟ ගෙනාව පිනිබිඳු මූණට
ඉහිලා මගේ ගතම සීතලෙන් කිළිපොලාගෙන ගියා. මට මතක් වුණේ ඒ ඇස් දෙක. බිමට වැටෙන වැහි
බිංදුවක් බිංදුවක් පාසාම මට මතක් වුණේ ඇගේ දඟකාරකම. ඇයත් වැස්සට ගොඩක් ආසයි.
වීදුරු ජනේලේ ළඟට වෙලා ඇද හැලෙන වැස්ස දිහා එයා ආසාවෙන් බලාගෙන ඉන්නවා. හිරිකඩ
වැදිලා මීදුම බැඳෙන ජනේලේ එයා එක එක සිතුවම් අඳිනවා. වැස්ස ගැන කතා කර කර උන්නු
දවසක එයා යෝජනාවක් කරා.
" අපි දෙන්නා දවසක
වැස්සට තෙමෙමුද? " එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන කීවේ පුදුම
ආසාවකින්.
මම
හිනාවෙලා එයාගේ මූණ දිහා බලාගෙන හිටියා. එයා කොහොමත් දන්නවා එයාගේ හැම ආසාවකටම පණ
දෙන්න මම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා කියලා. දවසක් ඒ අවස්ථාව උදා වුණා. වැස්ස ඇදගෙන
වැටෙන්න පටන් ගත්තා. ඒත් අපි දෙන්නට තෙමෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ගොරවන, අකුණු
ගහන එක අඩුවෙනකම් කියලා බලාගෙන උන්නා. දන්නෙම නැතිව රෑ වුණා. එයාගේ මූණ දුකෙන්
මැළවිලා ගියා. මගේ හිතත් දුකෙන් පෙළෙන්න ගත්තා.
" කමක් නෑ. අපිට වෙන දවසක පුළුවන් වෙයි තෙමෙන්න.
එයා හිනාවෙලා කීවා. "
මම ඒ
හිනාව දිහා බලාගෙන හිටියා. ඇත්තටම එයාට තියෙන්නේ ලස්සන හිනාවක්. එයා තවත් ලස්සන
කරන්න ඒ හිනාවට පුළුවන්. මම හැමදාමත් එයා දිහා බලාගෙන ඉන්න ආසා කරා. දුකෙන්
මැළවිලා තියෙන මූණේ හසරැල්ල දකින්න මම හැමදාමත් ආසකරා. ඉස්සර දුකෙන් වගේ මැළවිලා
තියෙන මූණේ දැන් දැන් හසරැල්ල රජයනවා. මගේ හිතේ සියුම් සතුටක් මෝදු වෙන්න ගන්නවා.
වැස්ස
නිසා මිදුලටවත් බහින්න බැරිව ඉද්දි මම වැස්සට ශාප කරා. හිරිකිතයයි සීතලයි මට
දරාගන්න බැරි වුණා. සිතින් වැස්සට බනින මට එක පාරටම මතක් වුණේ ඇයව.
"
වැස්සෙත් සුන්දරත්වයක් තියෙනවා. වීදුරු ජනේලයකින් බිංදුවෙන් බිංදුව වැටෙන වැස්ස
දිහා බලාගෙන ඉන්නකෝ. ඒ සීතල හිරිකඩ කොච්චර අපූරුද? "
එයා
එහෙම කියද්දි මාත් වැස්ස දිහා බලාගෙන හිටියා. ඇත්තටම වැස්සෙත් සුන්දරත්වයක්
තියෙනවා. මට එයාව මතක් වෙන එක මටවත් වළක්ව ගන්න බැරි වුණා. අපි ගොඩක් දවස් වැස්ස
එනකන් බලාගෙන හිටියා. වැස්ස එනවා කියලා පෙන්නලා නොආපු දවස් ගොඩක් තිබුණා. ඒත් එක
දවසක් ආයෙමත් ඒ සීතල වැස්ස ආවා. ඒත් ඒ වැස්සට තෙමෙන්න අවසර ලැබුණේ මට විතරයි. එයා
ගේ ඇතුළෙන් පෝටිකෝවට ඇවිත් වහලෙන් වැටෙන වැස්සට අත දිගුකරගෙන ඒ සීතල දරාගෙන
හිටියා. එයාගෙවත් මගෙවත් හීනවලට පණදෙන්න අපි දෙන්නටම බැරි වුණා.
එදාවගේම
හැමදාමත් මම ඇය නිසාම වැස්ස දිහා බලාගෙන ඉන්නවා. ඒත් කවදාවත් අපි දෙන්නට එකට
වැස්සට තෙමෙන්න බැරි වුණා. එක දවසක් එයා හොඳටම වැස්සට තෙතබරිත වෙන්න තෙමිලා. ඒත්
ඒක එයා හිතලා ආසාවට තෙමුණු දවසක් නෙවෙයි. සොබාදහමේ වැස්ස එයාට එයාගේ ආශාව ඉෂ්ඨ
කරලා දීලා. එයා තනියම තෙතබරිත වෙලා ටික දවසකින් මම එයත් එක්කම හැන්දාවක වැස්සකම
ගමනක් ගියා. තෙත බරිත වෙලා මගේ සුදු ඇඳුම ඇඟටම ඇලිලා තියෙද්දි ඇය ලස්සන හිනාව
පිරුණු මුහුණින්ම අපිත් එක්කම ආවා. ඒත් නැවත එන ගමනේ මට ඇයත් එක්කම ආපහු ගෙදරට
එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. එයා තනියම හැමදාම මහ පොළොවට වෙලා වැස්සට තෙමෙයි.
හැමදාම ඒ සඳ තරුව දිහා බලාගෙන ඉඳී.
මගේ
පුංචි දෝණි සොඳුරු යොවුන් වියේදිම මාව දාලා යයි කියලා මම හිතුවේ නෑ. ඒත් මේ තාත්තා
තනිවෙලා ඒ වැස්ස දිහා බලාගෙන ඉන්නවා. පුංචි දෝණි නැතිව වැස්සට තෙමෙන්න බෑ. මට ඒකේ
සුන්දරත්වයක් දකින්න බෑ. මට ඔයා ආස කරපු ඒ හැමදේම සුන්දරව පෙනුණේ ඔයාගේ ඔය අපූරු
හිනාව හින්දා. ඔයා අපූරු කතන්දරකාරියක් කියලා මම කියන්නෙත් ඔයා ගොතන කතා ඇතුළේ මට
මමත් ජීවත් වෙනවා කියලා දැණුන නිසා. මගේ දෝණි, මම එදා වගේම ඔයාට හැමදාමත් ආදරෙයි.
** මිථිලා හේමචන්ද්‍ර **
No comments:
Post a Comment