Wednesday, August 19, 2015

** රාත්‍රිය සහ හුදෙකලාව  **

සීතලකින් මගේ ගත වෙළෙන්න අරගෙන. ගත ද සිත ද කියලා වෙන් කරලා හිතාගන්න බැරි තරමට මගේ මනසේ නිරවුල් බවක් තිබුණේ නෑ. මගේ හිතේ තියෙන ගින්නෙන් පරිසරයේ තියෙන සීතල පිච්චිලා යනවා කියලා මට දැනෙන්න ගත්තා. මිදුලේ තිබුණු ගල් බංකුවක් මතට වෙලා මම හුදෙකලාවේ බලාගෙන උන්නා. මිදුලේ තිබුණු එක ගල් බංකුවක් පාලුවට ගිහින්. හරියට මගේ හිත වගේ. ඔයත් මගෙත් එක්කම මගේ පාලුව මැකෙන්න ඉස්සර උන්නා වගේ බංකුවේ ඉදන් ඉන්නවා නම්. රෑ අහසේ දිලෙන තනි තරුවටයි සඳ සාවියටයි අපි දෙන්නා ගොඩක් ආදරේ කරා. මම අද තනියම හඳ දිහා බලාගෙන ඉන්නවා. ඔයාට මෙතනට එන්න කියලා කෙටි පණිවිඩයක් හරි යවන්න පුළුවන්නම් මම එහෙම හරි ඔයාව මගේ ළඟට ගෙන්න ගන්නවා. ඒත් ඒ හැමදේම අතීතෙටම බාර දෙන්න වෙලා. හුදෙකලාවෙම අහස මුදුනින් මෝදුවෙලා තියෙන සඳසාවිගෙන් වෑහෙන එළියට මම ලෝබකම් කරා. මීදුමත් එක්ක විටින් විට අඩු වැඩි වෙන සඳ එළිය අල්ලගන්න මම මගේ අත දිගු කරා. ඒත් කොහේදෝ ඉදන් විග විගහට වගේ ආපු වළාකුලකින් හඳේ එළිය මකලා දැම්මා. 

මගේ හිතේ ඔයා වෙනුවෙන් සෙනහස ගුලිවෙලා තියෙනවා කියලා මට දැන් දැන් දැනෙන්න ගන්නවා. ඒ සෙනෙහසත් එක්කම ඔයාව තුරුළු කර ගන්න මට ඕන කරා. ඒත් මම විතරක්ම තනියම. මට පුළුවන් වුණේ මේ සීතල මද පවනට තුරුළු වෙන්න. මේ හඳ එළියට තුරුළු වෙන්න.

මීදුමත් එක්කම ඇඟට සිසිලසක් දැනෙන්න ගද්දි මට මතක් වුණේ වැස්ස. අපි දෙන්නා ගොඩක්ම වැස්සට සමීපයි. අපි ඉස්සරලම තනියම පන්සලකට ගියෙත් වැස්සෙම තමයි. සමහර දවස්වලට ඔහේ අත් අල්ලගෙන ගොඩක් දුර ඇවිදගෙන ගියා. වැස්සේ තෙමෙන්න ආස කරා. වැස්සට තෙමෙන්න අවස්ථාවක් එද්දි ඔයා ඇඳගෙන හිටියේ සුදුපාට ඇඳුමක්. ඒ ඇඳුමෙන් ඔයා වැස්සට තෙමෙනවා දකින්න මම කැමැති වුණේ නෑ. ගොඩක් ඇස් ඔයා දිහාව බලයි කියලා මම බයවුණා. වෙලාවකට වැස්සට වෛර කරපු මම වැස්සේ සුන්දරත්වය විඳින්න පුරුදු වුණේ ඔයා නිසා. ඒ වගේම තමයි මේ අහසත්. හැමදාම රෑට එළියට ආවත් මම හඳ දිහාවත් තරු දිහාවත් බලන්න පෙලබුණේ නෑ. ඒත් ඔයා හඳ ගැන තරු ගැන එක එක කථා කීවා. අපි දෙන්නට හඳ තරු අතරේ ජීවය දුන්නා.

" මම නැති දවසක ඔයා අඬන්නේ නැතිව ඉන්න ඕන හරිද? "

ඔයා මගේ කඳුළට වැට බැන්දා. ඒත් අද මම හුදෙකලාවේ. ඔයාගේ මතකයත් එක්කම ඉන්නවා. තේ වත්තට වෙලා හැන්දෑවේ ගොඩක් වෙලා මම බලාගෙන උන්නා. ඔයා මා එක්ක තේ වත්තේ කොච්චර ඇවිදලා ඇද්ද? හැන්දෑවට ඈතින් පේන කඳු මුදුන දිහා තේ වත්තේ මැද තියෙන ගල උඩට වෙලා අපි බලාගෙන උන්නා. ඒත් අද මායි හුදෙකලාවයි විතරයි.

ඉස්සර ඔයා මාවවත් මම ඔයාවවත් ගණන් ගත්තේ නෑ. ඒත් දෛවය අපි දෙන්නව එක් කරා. මම ගොඩක් කල් ඔයා දිහාවේ බලන් උන්නා කියලා ඔයා දැනගෙන හිටියෙත් නෑ,

"ඔයාගේ හිතේ දැන් වගේම ඉස්සරත් මට ආදරේ තිබුණද?" ඔයා දවසක් මගේ ළඟට වෙලා හෙමීට ඇහුවා. ඒත් ඔයා මගේ ඇස් දෙකෙන් උත්තර හොයන්න ගත්තා.

"නැතිව ඇති. දැන් එදාට වඩා මම ඔයාට ආදරෙයි. "  මම හෙමීට කීවා.

ඔයා හරි ආදරෙන් මගේ දිහාවේ බලාගෙන උන්නා. ඒත් මොකක්දෝ වේදනාවක් හුළඟේ අරින්න වගේ ඔයා ගැඹුරු හුස්මක් ඔහේ පා කරලා ඇරලා මගේ උරහිසට වාරු වුණා.

මම ඔයා ගැන හීන මැව්වා. මම ඔයාව ආදරෙන් බලා ගන්න විදිය ගැන හැමවෙලේම හිතුවා. පුංචි පොඩිත්තොත් එක්ක හැන්දෑව ගත කරන විදිය..... ඒ හැම දෙයක්ම මගේ හීනවල තිබුණා.
මිදුලේ ගල් බංකුවෙන් මම ගේ ඇතුළට ගියත් සාලෙට වෙලා ඉන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. මම ඇඳේ පෙරළිලා ඔයාගේ මතකය සිහි කරන්න ගත්තා. බිත්තියේ ගහලා තියෙන පොඩි එකාගේ පින්තූරේ මගේ දිහා බලලා හිනා වෙනවා. ඒත් ඇරලා තියෙන ජනේලයෙන් මිදුල ඉස්සරහා තවමත් හුළඟට සෙලවෙන සුදු කොඩිය දැකපු මගේ ඇතුළු හදවත පිචිචිලා ගියා. ඔයා අපේ සිඟිත්තත් එක්කම මාව දාලා ගිහින් දවස් හත ඉවර වුණා විතරයි. ඒත් මම මේ හැමදෙයක්ම හීනයක් වගේ. කවදාවත් නොදැකපු ඒ සිඟිත්තවත් ඔයාවත් මට කවදාවත් ආයේ හම්බෙන් නෑ.  මම ඔයාට ආදරේ කරා. හැමදාටම ආදරේ කරනවා. රෑ අහසේ හඳ වෙලා ඔයා පායන්න. මම හැමදාමත් බලාගෙන ඉන්නම්.

** මිථිලා හේමචන්ද්‍ර **


 

   

Sunday, August 9, 2015

** වැස්ස සහ ඇය **



හමාගෙන එන සීතල හුළඟ ගෙනාව පිනිබිඳු මූණට ඉහිලා මගේ ගතම සීතලෙන් කිළිපොලාගෙන ගියා. මට මතක් වුණේ ඒ ඇස් දෙක. බිමට වැටෙන වැහි බිංදුවක් බිංදුවක් පාසාම මට මතක් වුණේ ඇගේ දඟකාරකම. ඇයත් වැස්සට ගොඩක් ආසයි. වීදුරු ජනේලේ ළඟට වෙලා ඇද හැලෙන වැස්ස දිහා එයා ආසාවෙන් බලාගෙන ඉන්නවා. හිරිකඩ වැදිලා මීදුම බැඳෙන ජනේලේ එයා එක එක සිතුවම් අඳිනවා. වැස්ස ගැන කතා කර කර උන්නු දවසක එයා යෝජනාවක් කරා.

" අපි දෙන්නා දවසක වැස්සට තෙමෙමුද? " එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන කීවේ පුදුම ආසාවකින්.
මම හිනාවෙලා එයාගේ මූණ දිහා බලාගෙන හිටියා. එයා කොහොමත් දන්නවා එයාගේ හැම ආසාවකටම පණ දෙන්න මම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා කියලා. දවසක් ඒ අවස්ථාව උදා වුණා. වැස්ස ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. ඒත් අපි දෙන්නට තෙමෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ගොරවන, අකුණු ගහන එක අඩුවෙනකම් කියලා බලාගෙන උන්නා. දන්නෙම නැතිව රෑ වුණා. එයාගේ මූණ දුකෙන් මැළවිලා ගියා. මගේ හිතත් දුකෙන් පෙළෙන්න ගත්තා.

" කමක් නෑ. අපිට වෙන දවසක පුළුවන් වෙයි තෙමෙන්න. එයා හිනාවෙලා කීවා. "

මම ඒ හිනාව දිහා බලාගෙන හිටියා. ඇත්තටම එයාට තියෙන්නේ ලස්සන හිනාවක්. එයා තවත් ලස්සන කරන්න ඒ හිනාවට පුළුවන්. මම හැමදාමත් එයා දිහා බලාගෙන ඉන්න ආසා කරා. දුකෙන් මැළවිලා තියෙන මූණේ හසරැල්ල දකින්න මම හැමදාමත් ආසකරා. ඉස්සර දුකෙන් වගේ මැළවිලා තියෙන මූණේ දැන් දැන් හසරැල්ල රජයනවා. මගේ හිතේ සියුම් සතුටක් මෝදු වෙන්න ගන්නවා.
වැස්ස නිසා මිදුලටවත් බහින්න බැරිව ඉද්දි මම වැස්සට ශාප කරා. හිරිකිතයයි සීතලයි මට දරාගන්න බැරි වුණා. සිතින් වැස්සට බනින මට එක පාරටම මතක් වුණේ ඇයව.

" වැස්සෙත් සුන්දරත්වයක් තියෙනවා. වීදුරු ජනේලයකින් බිංදුවෙන් බිංදුව වැටෙන වැස්ස දිහා බලාගෙන ඉන්නකෝ. ඒ සීතල හිරිකඩ කොච්චර අපූරුද? "

එයා එහෙම කියද්දි මාත් වැස්ස දිහා බලාගෙන හිටියා. ඇත්තටම වැස්සෙත් සුන්දරත්වයක් තියෙනවා. මට එයාව මතක් වෙන එක මටවත් වළක්ව ගන්න බැරි වුණා. අපි ගොඩක් දවස් වැස්ස එනකන් බලාගෙන හිටියා. වැස්ස එනවා කියලා පෙන්නලා නොආපු දවස් ගොඩක් තිබුණා. ඒත් එක දවසක් ආයෙමත් ඒ සීතල වැස්ස ආවා. ඒත් ඒ වැස්සට තෙමෙන්න අවසර ලැබුණේ මට විතරයි. එයා ගේ ඇතුළෙන් පෝටිකෝවට ඇවිත් වහලෙන් වැටෙන වැස්සට අත දිගුකරගෙන ඒ සීතල දරාගෙන හිටියා. එයාගෙවත් මගෙවත් හීනවලට පණදෙන්න අපි දෙන්නටම බැරි වුණා.

එදාවගේම හැමදාමත් මම ඇය නිසාම වැස්ස දිහා බලාගෙන ඉන්නවා. ඒත් කවදාවත් අපි දෙන්නට එකට වැස්සට තෙමෙන්න බැරි වුණා. එක දවසක් එයා හොඳටම වැස්සට තෙතබරිත වෙන්න තෙමිලා. ඒත් ඒක එයා හිතලා ආසාවට තෙමුණු දවසක් නෙවෙයි. සොබාදහමේ වැස්ස එයාට එයාගේ ආශාව ඉෂ්ඨ කරලා දීලා. එයා තනියම තෙතබරිත වෙලා ටික දවසකින් මම එයත් එක්කම හැන්දාවක වැස්සකම ගමනක් ගියා. තෙත බරිත වෙලා මගේ සුදු ඇඳුම ඇඟටම ඇලිලා තියෙද්දි ඇය ලස්සන හිනාව පිරුණු මුහුණින්ම අපිත් එක්කම ආවා. ඒත් නැවත එන ගමනේ මට ඇයත් එක්කම ආපහු ගෙදරට එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. එයා තනියම හැමදාම මහ පොළොවට වෙලා වැස්සට තෙමෙයි. හැමදාම ඒ සඳ තරුව දිහා බලාගෙන ඉඳී.

මගේ පුංචි දෝණි සොඳුරු යොවුන් වියේදිම මාව දාලා යයි කියලා මම හිතුවේ නෑ. ඒත් මේ තාත්තා තනිවෙලා ඒ වැස්ස දිහා බලාගෙන ඉන්නවා. පුංචි දෝණි නැතිව වැස්සට තෙමෙන්න බෑ. මට ඒකේ සුන්දරත්වයක් දකින්න බෑ. මට ඔයා ආස කරපු ඒ හැමදේම සුන්දරව පෙනුණේ ඔයාගේ ඔය අපූරු හිනාව හින්දා. ඔයා අපූරු කතන්දරකාරියක් කියලා මම කියන්නෙත් ඔයා ගොතන කතා ඇතුළේ මට මමත් ජීවත් වෙනවා කියලා දැණුන නිසා. මගේ දෝණි, මම එදා වගේම ඔයාට හැමදාමත් ආදරෙයි.



                                                            ** මිථිලා හේමචන්ද්‍ර **