Tuesday, September 11, 2018

ගන්ධබ්බයෙකුගේ සිතුවිලි


ගන්ධබ්බයෙකුගේ සිතුවිලි

          හයියෙන් අඬන්න. නෑ හයියෙන් හිනාවෙයන්. නෑ නෑ. උඹට ජීවිතයක් නෑ. උඹ ඕන තැනට පලයන්. ඇවිදපන්. පාවෙයන්. මගේ හිත විටින් විට මොරගාන්න ගත්තා. කන්න අතට ගන්න බත්පත අතේ තියාගෙන මම ගොඩක් දුරකට පා වෙනවා. නොදැනිම නෙත් අග්ගිස්සෙන් පොදි ගැ‍හෙන කඳුල හෙමීට කම්මුල දිගේ පල්ලම් බහිනවා. මම කොයි ලෝකෙක ජීවත් වෙනවාද කියලා මටම නොතේරෙන වෙලාවල මගේ මනෝකාය මාව දාලා ගොඩක් දුර ගිහින්. හැල්මේ දුවගෙන ගිහින් මට හරි වෙහෙසයි. ඒත් මම කොහෙද දිව්වේ? මටම වෙලාවකට මතක නෑ. උදේම නැගිටිනවා. සුපුරුදු දින චර්යාව. ගොම්මනත් එක්කම ගෙදරට ගොඩ වෙනවා. කාමරේකට වැදිලා දවස ගෙවලා ඉවර කරලා දානවා. ගොවෙනවා. කල්ගත වෙනවා. මම තාමත් බත් එක අතේ තියාගෙන. ඔහු මගේ දිහා බලාගෙන. දන්නෙම නැතිව හීනියට හීල්ලිලා කියලා තේරුනේ ටිකක් වෙලා ගතවෙද්දි. අමාරුවෙන් වගේ බත්පත හෙමීට අත ගගා ඉදලා ගලට දාලා අත හෝද ගත්තා. ආයෙමත් මගේ මනෝ කාය මාව දාලා කොහෙඳ යන්න දඟලනවා කියලා මට තේරුණා. අනේ... ඔයා මට අයිති නැද්ද මේ විදිහට මාව දාලා යන්නම හදන්නේ?

මම කැමතියි හැමමොහොතකම ඔබ මාත් එක්කම ඉන්නවානම්. නැත්නම් මම තනිවෙලා කියලා මට හිතෙනවා. මම හෙමීට කෙදිරුවා. ඒත් ඔහුට ඒක ඇහුණේ නැද්ද මන්දා. පේන මානෙකවත් ඔහු නෑ කියලා මට තේරුණා. ක්ෂණයකින් මට හැමදේම අමතක වෙන්න ගන්නවා. ඒ ඔහු නැති හින්දා. කවුරුවත් මට පිස්සු කියලා කියන්නෙත් නෑ. ඒත් මම දන්නවා මට පිස්සු වෙන්න ඇති කියලා. පාවෙනවා. පාවෙනවා ඉවරයක් නෑ. මේකේ කෙලවරක් නැද්ද කියලා මටම හිතෙනවා. ඇයි මෙහෙම වෙන්නේ. මගේ මනෝකාය ඔයා මගෙත් එක්කම ඉන්න. මම හෙමීට ඔහුට කෙදිරුවා. ඔහු හෙමීට මගේ ළඟට  කිට්ටු වුණ.
සුදු කොඩි වැල් එල්ලිලා ලස්සනට තියෙනවා දකින්න මම ආස කළා. ඒත් මම ඒ සුදු කොඩි අස්සේ ඉන්න දවස වෙද්දි ඔහු මගෙන් ඈත්ම වෙනවාද? නැත්නම් අපි දෙන්නට එකටම පා වෙන්න පුළුවන් ද කියලා හිතන්න මටම තේරෙන් නෑ.

මොකද වෙලා තියෙන්නේ? ඔහු මගේ උරහිස හොල්ලලා මගෙන් අහනවා.

ඔහ්.... මෙච්චර වෙලා මම වෙනම ලෝකෙක ඉදලා තියෙන්නේ කියල මට තේරුන් එනවා. කාලා අත හෝදන් ආවා වුණත් අතේ බත් පිඟාන. ඉඳුල් ගෑවිලා තිබුණු අත වේලිලා. ඔහු අතත් හෝදගෙන ඇවිත් තාමත් මගේ දිහා බලාගෙන.

මොකක් ද අක්කේ වෙලා තියෙන්නේ ?

ඔහු මගේ දිහා බයෙන් වගේ බලාගෙන හෙමීට අහනවා. මට තේරුනා ඔහු ටික කාලෙක ඉදලා මම ගැන, මගේ ඉරියව් ගැන දැඩි සෙවිල්ලකින් හිටියා කියලා. නෙත් අග්ගිස්සෙන් ගලා‍ගෙන යන්න දඟලපු කඳුළ මම නිදහස් කරලා දැම්මා. ඔහු මම හිටි තැනට ඇවිත් මොකුත් හිතාගන්න බැරිව මගේ ඔලුව අත ගාලා හෙමීට ඔහුගේ පපුවට තුරුල් කර ගන්නවා. මට මම ගැනම වෙලාවකට මුකුත් හිතාගන්න බැරිව ළතවෙනවා.

මොකක් ද ඇත්තටම මගේ ජීවිතේ ? මටම හිතාගන්න බෑ. මම පා වෙනවා. හිතේ සැනසීමක් දැනෙන් නෑ මට. මට මැරෙන්න හිතෙනවා. ඒත් මම අසරණයි.

එක පාරට හිතපු ආපු වචන ටික මම ඔහු ඉස්සරහා අත ඇරලා දැම්මා. මගේ ජීවිතෙත් ගන්ධබ්බයි කියලා මට තේරෙන්න අරන් කාලයක් වෙනවා. මම තාමත් පා වෙනවා. මනෝ කාය තාමත් මාත් එක්ක ඉන්නවා ද නැද්ද කියලා මම හොයන්න ගත්තා. ඒත් මනෝකායත් මගේ සිතුවිලි වගේම නිරවුල් නෑ කියලා මම හොදාකාරවම දැනන් උන්නා. 

  
**මිථිලා හේමචන්ද්‍ර**



නුඹ නොදන්නා තරමට


**නුඹ නොදන්නා තරමට** 


අඬන්න අඬන්න කඳුළු උනන්නේ කොහෙන්ද කියලා මම දැනගෙන උන්නේ නෑ. ඒත් ඒ කඳුළු අස්සේ හැමදාම සක්මන් කළේ ඔයාගේ මතකය. ළඟ උන්නත් දුර උන්නත් ඔයා මගේ හදවත වේදනාවෙන් බර කරලා තිබ්බා. තනිකමක් දැනෙන හැම මොහොතකම මගේ හිත ඔයාවම හොයන්න ගත්තා. මේ හැමදෙයක්ම මගෙම වරදද ඔයාගේ වරදද කියන්න මම දැනන් උන්නේ නෑ. එත් නුඹ නොදන්නා තරමටම මම උඹ වෙනුවෙන් හැමදාමත් දුක්විදිනවා. හිනාවෙලා ඉන්නවා කියලා උඹ හිතන් උන්නත් මේ හිනාව ඇතුලේ හැමවෙලේම තියෙන්නේ දුක, කඳුළ කියලා ඔයාට පැහැදිලි කරන්න මම උත්සාහ ගන්නේ නෑ. අත් දෙක අල්ලාගෙන මූණට එබිලා උන්නු දවස්, මගේ ඇස් මානෙට වෙලා උඹ දඟකරපු දවස් හීන විතරක්ම ද කියලා මම හොයන්න උත්සාහ ගත්තා. හැමදාමත් වගේ උඹ කවදාවත් මගේ ආදරේ තේරුම් ගත්තේ නැද්ද කියලා මට වෙලාවකට හිතෙනවා. ඒත් කියාගන්න බැරි ලෝබකමකින් සිත වෙලිලා ගිහිල්ලා. ඒක කරුමක්කාර සිතුවිල්ලක් ද කියලා මම හොයන්න ගත්තා නම් ආයෙමත් වේලිලා ගිය ඇස් දෙක කඳුළෙන් තෙත් වෙයි. මම උඹ වෙනුවෙන් අඬනවා කියලා උඹ කවදාවත් දැනගන්න ඕනත් නෑ. මගේ දුප්පත් ආදරේ හදුනගන්න බැරිවුණ උඹට මම මගේ ජීවිතේ බාර දුන්නත් ඒකත් අන්තිමට හුළඟේ ගහගෙන ගිහින් මටවත් හොයාගන්න බැරිවෙයි කියලා මම බයවුණා. ඒ බයවීම නවතින්නේ නුඹ මගේ ජීවිතේ විනාශ කරා කියන සිතුවිල්ලකින් නෙවෙයි. ඒත් කියාගන්න බැරි, පහදගන්න බැරි මොනාදෝ මන්දා සිතුවිලි නිසා මම තාමත් දුක්විදිනවා. උඹ මේ හැමදේකින්ම දුරස්වෙලා මගේ ඇස් මානෙන් ඈතකට ඇදිලා ගිහිල්ලා. ගෑනියෙක්ට කඳුළ අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් පිරිමියෙක් වුණ මටත් කඳුළේ හුරුපුරුදුකම, සමීපකම ගැන උඹටත් වඩා මම හොඳට දන්නවා. ජීවිතේ ගැන දැන් දැන් ඉගෙනගන්න උත්සාහ ගන්න මම ජීවිතේ ගැන උඹට නිසාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හුස්ම ගත්තත් පපුවේ ඇතුළෙන් ඇවිලෙන ගින්දරත් එක්කම ම ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ නැද්ද කියලත් මට හිතුණා. කාත් කවුරුවත් නැතිගානට කාමරේ ඇදට වෙලා මම බලාගෙන උන්නා. ඇස් දෙක රතුකරගෙන යනවා කියලා දැනුණත් මම හිනාවෙලා ඉන්නවා කියලා පෙන්නන්න උත්සාහ කරා.

මේ විදියට දුක්විදින්නේ මොන හේතුවකට ද? මම ගැන වටිනාකමක් නොදැනෙන ජීවිතයක් වෙනුවෙන් මම හුල්ලන්න තරම් පෙර ආත්මෙක ගෙවා ගන්න බැරි තරමටම ලොකු වරදක් කරලා කියලා මට දැනෙන්න ගත්තා. නිදිමත බේරෙන ඇස් දෙකෙන් මම රැකවරණයක් ආදරයක් හොයන්න ගත්තා. මගේ හිත හැමවෙලේම උඹවම ස්පර්ශ කරන්න ගත්තා. කරුමයක් ද කියලා හිතාගන්න බැරි ඒ රූපේ හැමදාමත් මාව අවුල් කරන්න අරගෙන. ඒ මතකය මාව රිද්දන්න රිද්දන්නම හිත ආදරෙන් ලෝභකමින් පිරෙන්න ගන්නවා. සීතලින් වෙලිලා තියෙන පරිසරයේදී උඹේ උණුසුම හොයන්න මම උත්සාහ ගත්තා. ඒත් අන්තිමට මම තුරුළු කර ගත්තා. ඒ උඹව නෙවෙයි. මගේ ආදරණීය මතකය. උඹේ එකම එක පුංචි වෙනසකින් වුණත් මගේ පපුවේ ඇතුළු කුහරයම රිදුම් දෙන්න ගත්තා. හදවතට විටින් විට දැනෙන්න අරින ඒ වේදනාවන්ට මගේ හදවත පුරුදු වෙන්න අරගෙන. ඒත් දවසක උඹේ ඒ ආදරය නිසාම, ඒ මතකය නිසාම මගේ හදවතත් නතර වෙයිද කියලා සැකහිතෙන්න ගන්නවා. මොකක් කොහොමින් කොහොම වුණත් මම තාමත් වේදනා විදිනවා. ඒ උඹට තියෙන ආදරේ හින්දා. මගේ ආදරේ මටම තියාගන්න ඇරලා උඹ දවසක් කවුරුවත් නොහිතපු විදියට මාව මේ ලෝකේ තනි කරලා දාලා යන්නම ගියා. මගේ ලෝකේ ලස්සන කරාටත් වඩා උඹ මගේ ජීවිතේම පාලු කරලා මහ මූසල සොහොන් පිට්ටනියක් ගානට දාලා උඹත් සොහොනකම වැතිරුණා.

මම තාමත් බලාගෙන ඉන්නවා. ජීවිතේ කොච්චර දුරක් ගෙවිලා ගියත්, මම තාමත් ඉන්නේ අපි මුණ ගැහුණු ඒ අවධියෙමයි. මගේ ජීවිතේට සිනාව ගෙනාපු ඒ කාලෙමයි. මම කොච්චර වේදනා වින්දත් උඹ හින්දා, ඒ වේදනාව ඇතුලේ හැමදාමත් කැකෑරෙන ආදරයක් තියෙනවා. උඹට ඒක ජීවත්ව හිටියත් කවදාවත් තේරුම් ගන්න බෑ කියලා මම හැමදාමත් දැනන් උන්නා.



                                                                                                  ** මිථිලා හේමචන්ද්‍ර **