ගන්ධබ්බයෙකුගේ
සිතුවිලි
හයියෙන් අඬන්න. නෑ හයියෙන් හිනාවෙයන්.
නෑ නෑ. උඹට ජීවිතයක් නෑ. උඹ ඕන තැනට පලයන්. ඇවිදපන්. පාවෙයන්. මගේ හිත විටින් විට
මොරගාන්න ගත්තා. කන්න අතට ගන්න බත්පත අතේ තියාගෙන මම ගොඩක් දුරකට පා වෙනවා.
නොදැනිම නෙත් අග්ගිස්සෙන් පොදි ගැහෙන කඳුල හෙමීට කම්මුල දිගේ පල්ලම් බහිනවා. මම
කොයි ලෝකෙක ජීවත් වෙනවාද කියලා මටම නොතේරෙන වෙලාවල මගේ මනෝකාය මාව දාලා ගොඩක් දුර
ගිහින්. හැල්මේ දුවගෙන ගිහින් මට හරි වෙහෙසයි. ඒත් මම කොහෙද දිව්වේ? මටම වෙලාවකට
මතක නෑ. උදේම නැගිටිනවා. සුපුරුදු දින චර්යාව. ගොම්මනත් එක්කම ගෙදරට ගොඩ වෙනවා.
කාමරේකට වැදිලා දවස ගෙවලා ඉවර කරලා දානවා. ගොවෙනවා. කල්ගත වෙනවා. මම තාමත් බත් එක
අතේ තියාගෙන. ඔහු මගේ දිහා බලාගෙන. දන්නෙම නැතිව හීනියට හීල්ලිලා කියලා තේරුනේ ටිකක්
වෙලා ගතවෙද්දි. අමාරුවෙන් වගේ බත්පත හෙමීට අත ගගා ඉදලා ගලට දාලා අත හෝද ගත්තා.
ආයෙමත් මගේ මනෝ කාය මාව දාලා කොහෙඳ යන්න දඟලනවා කියලා මට තේරුණා. අනේ... ඔයා මට
අයිති නැද්ද මේ විදිහට මාව දාලා යන්නම හදන්නේ?
මම කැමතියි
හැමමොහොතකම ඔබ මාත් එක්කම ඉන්නවානම්. නැත්නම් මම තනිවෙලා කියලා මට හිතෙනවා. මම
හෙමීට කෙදිරුවා. ඒත් ඔහුට ඒක ඇහුණේ නැද්ද මන්දා. පේන මානෙකවත් ඔහු නෑ කියලා මට
තේරුණා. ක්ෂණයකින් මට හැමදේම අමතක වෙන්න ගන්නවා. ඒ ඔහු නැති හින්දා. කවුරුවත් මට
පිස්සු කියලා කියන්නෙත් නෑ. ඒත් මම දන්නවා මට පිස්සු වෙන්න ඇති කියලා. පාවෙනවා.
පාවෙනවා ඉවරයක් නෑ. මේකේ කෙලවරක් නැද්ද කියලා මටම හිතෙනවා. ඇයි මෙහෙම වෙන්නේ. මගේ මනෝකාය
ඔයා මගෙත් එක්කම ඉන්න. මම හෙමීට ඔහුට කෙදිරුවා. ඔහු හෙමීට මගේ ළඟට කිට්ටු වුණ.
සුදු කොඩි
වැල් එල්ලිලා ලස්සනට තියෙනවා දකින්න මම ආස කළා. ඒත් මම ඒ සුදු කොඩි අස්සේ ඉන්න දවස
වෙද්දි ඔහු මගෙන් ඈත්ම වෙනවාද? නැත්නම් අපි දෙන්නට එකටම පා වෙන්න පුළුවන් ද කියලා
හිතන්න මටම තේරෙන් නෑ.
“මොකද වෙලා තියෙන්නේ? ” ඔහු මගේ උරහිස
හොල්ලලා මගෙන් අහනවා.
ඔහ්.... මෙච්චර වෙලා මම වෙනම ලෝකෙක ඉදලා තියෙන්නේ කියල මට තේරුන් එනවා.
කාලා අත හෝදන් ආවා වුණත් අතේ බත් පිඟාන. ඉඳුල් ගෑවිලා තිබුණු අත වේලිලා. ඔහු අතත්
හෝදගෙන ඇවිත් තාමත් මගේ දිහා බලාගෙන.
“මොකක් ද අක්කේ වෙලා තියෙන්නේ ?”
ඔහු මගේ දිහා බයෙන් වගේ බලාගෙන හෙමීට අහනවා. මට තේරුනා ඔහු ටික කාලෙක ඉදලා
මම ගැන, මගේ ඉරියව් ගැන දැඩි සෙවිල්ලකින් හිටියා කියලා. නෙත් අග්ගිස්සෙන් ගලාගෙන
යන්න දඟලපු කඳුළ මම නිදහස් කරලා දැම්මා. ඔහු මම හිටි තැනට ඇවිත් මොකුත් හිතාගන්න
බැරිව මගේ ඔලුව අත ගාලා හෙමීට ඔහුගේ පපුවට තුරුල් කර ගන්නවා. මට මම ගැනම වෙලාවකට
මුකුත් හිතාගන්න බැරිව ළතවෙනවා.
“මොකක් ද ඇත්තටම මගේ ජීවිතේ ? මටම හිතාගන්න
බෑ. මම පා වෙනවා. හිතේ සැනසීමක් දැනෙන් නෑ මට. මට මැරෙන්න හිතෙනවා. ඒත් මම අසරණයි.”
එක පාරට හිතපු ආපු වචන ටික මම ඔහු ඉස්සරහා අත ඇරලා දැම්මා. මගේ ජීවිතෙත්
ගන්ධබ්බයි කියලා මට තේරෙන්න අරන් කාලයක් වෙනවා. මම තාමත් පා වෙනවා. මනෝ කාය තාමත්
මාත් එක්ක ඉන්නවා ද නැද්ද කියලා මම හොයන්න ගත්තා. ඒත් මනෝකායත් මගේ සිතුවිලි වගේම
නිරවුල් නෑ කියලා මම හොදාකාරවම දැනන් උන්නා.
**මිථිලා
හේමචන්ද්‍ර**