Wednesday, November 25, 2015

** රිදුම් දෙන සිතුවිලි **

සිතට නැඟෙන්නේ ද්වේෂයකි. ආවේගයකි. මට මාවම පාලනය කරගත නොහැකි තත්ත්වයකට මා පත් කර දැමුවේ කවරෙකුදැයි මටම වටහා ගත නොහැකිය. නිහඬබව අපූර්ව ප්‍රතිකර්මයක් යැයි මම වටහාගත මුත් ඒ නිහඬ මනෝ රාජ්‍යෙය් හුදෙකලාව රජවන්නට කිසිවෙකුත් ඉඩනොදෙයි. ඔවුන් මගේ රාජ්‍යය පැහැරගෙන මා ඉන් නෙරපා දැමීමට රහස්‍ය කුමන්ත්‍රණවල නියැලෙන බව මා දැන උන්නෙමි. එහෙත් තනිව සටන් කර රාජ්‍යයක් ලබාගත නොහැකිබව මා දැනසිටිමි. මා ඔවුන්ට යටත්විය යුතුව ඇත. එහෙත් රාජ්‍යය ලබා දී රහසෙම පිටව යාම හෝ ඔවුන්ට යටත්වීමට මා සිත් නොගනී. දිවිනසා ගැනීම යහපත්බව අනුවණ බුද්ධිය විටෙක ඇවිටිලි කරයි. එහෙත් එය දුෂ්කර බව පවසන මට යටි සිත රහසෙම කොඳුරන්නේ රාජ්‍යය හැර දමා පලා යන්නටය. කිසිවෙකුටවත් පහසුවෙන් ලඟා විය නොහැකි ස්ථානයක් වෙත නික්ම යාමට සිත මට බලකරන්නට වෙයි.

හ්ම්..... හුස්ම නිදහසේ පා කර හැර දමා ලය සැහැල්ලුකර ගැනීමට ආයාසකර වෑයමක මා යෙදුනෙමි. අතට ගත් පොත වසා දමා මා ඇඳ බඳා ගත්තේ විටින් විට හඬ තලන දුරකථනය ගැනද ඇති වූ කෝපයෙනි.

නෙත් දැඩිව වසාදමා ආයාසයෙන් නිදන්නට වෙර දැරුවෙමි. නෙත් පියාගන්නට උත්සාහ ගන්නා සෑම මොහොතකම මා නෙත් අබියස ඒ රුව මැවී පෙනෙන්නට වූයෙන් මගේ සිත දැඩි පීඩනයට ලක්ව රිදුම් දෙන්නට විය. සිනහවක් නොමැතිව වේදනාවෙන් පෙලෙන ඒ රුව මොහොතින් මොහොත වෙනස්වන්නට වූයේ නෙත් නොපියා බලා සිටින ඇසිල්ලෙන්ය. ඇගේ විකසිත මුවමඩල මුහුණට ගෙන ආවේ අපූර්වත්වයකි. සිනහවක් නොමැති ඒ රුවින් නොදකින සුන්දරත්වයක් සිනහාවෙන විට දකින්නට හැකි බව මා දුටුවේ පෙරදී අහම්බෙන් ඇගේ දසුන නෙත් අද්දර ඇඳුණු මොහොතකය. මා ඇගේ වත මඩලට සුන්දර සිනහව ගෙන් වූ බව හැබෑවය. ඇගේ සිත ආදරයෙන් පිර වූ බවද හැබෑවය. එහෙත් ඇයට සදාකාලිකවම මගේ රාජ්‍යෙය් රැදෙන්නට හැකිබව හැබෑවක් නොවූයේ සසරේ කවර පාපී ක්‍රියාවක ප්‍රතිඵලය නිසාදැයි සෙවීමට උත්සාහ නොගත්තෙමි. සුන්දර සිනහව රැදි ඇගේ රෑ සපුව තවත් මොහොතකින් වෙනස් වන්නට විය. දිගු කෙස් වැටිය කොටටම වන්නට කපා දමා තිබූ අතර ඇගේ වතද අඳුරු වී සුන්දර බව ගිලිහී ගොස් තිබේ. ඇඳෙන් නැගිට්ටා නොව නැගිටුණාය. නිදන්නට හෝ කිසිදු වැඩක් කර ගැනීමට නොහැකි ලෙස ඇයව දිස්වීම මා සිත තව තවත් රිදවන්නට සමත් විය.

ඇගේ මුණගැසීම මීට වසර කීපයකට පෙරදී සිදුවිය. මගේ අවතැන් සිතුවිලි එක්තැන් වී ඇය ගැන මතකයේ අහුමුළු පිරික්සන්නට වෙයි. හුදෙකලාවට පෙම් බැඳි ඇය නිහඬව ඇයගේම රාමුවක ජීවත්වන්නට උත්සාහ දරන සේය. එහෙත් ඇය නිහඬවම නොවන බව තවත් දිනෙක දැකගත්තේ තවත් උන් සමඟ ඇයගේ දොඩමළු වීම දැකීමෙනි. වැහි වළාවට වැසී තිබූ පුන් සඳක් වළාවෙන් මිදී එළිය දෙන්නා සේ ඇගේ වත සිනහවෙන් ආලෝකමත් වී ඇති බව දුර සිටම දැක ගත්තෙමි. ඇගේ සිනහව මගේ ඇතුළු හද අකුණු හඬ නැන්වුවේ ය. ඇයව දුර සිට දැකගන්නට සුපුරුදු ලෙසම මම ගමන් කළෙමි. ඇගේ නෙත් මා නෙත් හා ගැටුණු දින දෙහදක් එක තැන නතර වූවාද හුස්ම නතර වූවාදැයි සිතාගත නොහැකි විය.

මා ඇයට පෙම් කළෙමි. ප්‍රේමයට ලොව ඇත්තේ බාධක පමණක්ම ද? මගේ පීඩාකාරී සිත රෑ නිදි නැති සයනේ මා පෙළන්නට වෙයි. නිදන්නට වන්විට සිහිනයෙන් ඇය මා අබියසට පැමිණෙයි. මා සමඟ දොඩමළු වෙයි. ප්‍රේමයෙන් මා ගත වෙළෙයි. අවදිවන්නේ ඇය ගැන සිත පැළපදියම් වී උතුරා යන ප්‍රේමයෙනි. එහෙත් දැන් නින්දද සිතට පීඩාකාරීය. සිහිනයෙන් මා ගෙන යන්නේ අදුරු ආගාදයකටය. සුසුම් හෙළමින් මහා හඬින් හඬා වැළපෙන සිහින, රිදවෙන සිත පසුදින උදෑසන මා සිත ඔත්පල කරයි. රිදුම් දෙන ඇගේ සහ මගේ ප්‍රේමයේ නටඹුන් අතරේ මම සිහිනොලද්දෙකු මෙන් සැරිසැරුවෙමි.

අරකිත් පිස්සෙක් වුණා. උඹත් පිස්සෙක් වෙන්නද හදන්නේ? හරයක් නොමැතිව මා සිදුකරන ක්‍රියාවන් දකින සියල්ලන්ම අනුකම්පා විරහිතව හෝ අනුකම්පාවෙන් පවසන වදන් මට ඇසෙන්නේ සතුරන්නේ නැඟෙන තර්ජනීය ඇමතුම් ලෙසය. කිසිවෙක් බැන එවන කෙටි පණිවිඩ හෝ දුරකථන ඇමතුම් හේතුවෙන් මගේ මනෝභාවයන් විකෘති වන්නට ආසන්න යැයි සිත තට්ටු කරන්නට වෙයි.

මේ ප්‍රේමයයි - මා සෙවූ සදාකාලික සෙනෙහසයි......

කොටිටය මුහුණට තදකර ගනිමින් ඉකිබිදුම පිටතට නොඇසෙන්නට මා සිතේ වේදනාව තුනී කර ගන්නට වෙර දැරුවෙමි. සිහිනයෙන්වත් පැමිණ ඔබ පෙරදී මෙන් සිනාසෙන්න. මා රාත්‍රිය එනතුරු බලා සිටින්නම්.


** මිථිලා හේමචන්ද්‍ර ** 

    

Tuesday, November 10, 2015


නෙතට නෙත එබිකම් කරා


කඳුළැලි පෙරීගෙන ඇවිත් නෙත් අග්ගිස්සෙන් එබිකම් කරන්න ගත්තා. මම මගේ නෙවෙයි වගේ හිස් අවකාශයේ දිහා බලාගෙන උන්නා. හෙමීට හිල්ලෙන හිත පැත්තකින් තියලා හිනාවෙන්න හොඳවිදියක් ගැන හිතන්න ගත්තා. ඒත් හිනාවක සේයාවක්වත් හොයාගන්න අමාරුයි කියලා දැන් දැන් මග් හිත තේරුම් ගන්න උත්සාහ ගන්නවා. ඇත්තටම හැමෝම වගේ මාත් දෛවයට දොස් කියන්න ඕනද? නැත්නම් මේ හැමදෙයක්ම මගේ වරදක් නිසා හෝ වැරදි තේරීමක් නිසා සිදු වුණාද කියන්න තරම් මට කිසිම තේරුම් ගන්න අමාරුයි.