Monday, September 7, 2015

** කඳුළක තැවරූ ආදරය **

කියාගන්න බැරි තරමට හිතට දැනෙන්නේ පාළුවක් තනිකමක්. ඒත් ඒ පාළුව තනිකම මකලා දාන්න පුළුවන් කාටද කියලා මටවත් හිතාගන්න බෑ. නුඹේ උණුසුමට මම ගුලි වුණේ පුංචි දරුවෙක් වගේ. ඒත් හැමදාටම හැමමොහොතකම ඒ උණුසුමට ගුලිවෙන්න බෑ කියලා ඔබ වගේම මාත් දැනගෙන උන්නා. මම පාන්දර අවදිවෙද්දිත් ඔබ අවදියෙන්. සීතලට ගුලි වෙලා නිදන්න ඕන කරත් ඉර නැඟගෙන එන සීතල හිමිදිරියෙම ඔබ අවදි වෙනවා.

ඇයි කලින් නැගිට්ටේ. තව ටිකක් නිදාගන්න තිබ්බානේ. ඔයා මගේ දිහා බලාගෙන ආදරෙන් එහෙම කීවා.

ඒ ආදරණීය බවට මම ගොඩක් ලෝබකම් කරා. ඔයාව බස් එකට ඇරලලා ඇවිත් වෙලාවකට මම නිදා ගන්නවා. නැත්නම් මොකක් හරි කියවනවා. ඔයා ඔෆිස් එකට යනකම්ම මම ඔයා ළඟට වෙලා ඉන්නවා. ඇඳෙන් නැගිටින්නේ ඊටත් පස්සේ මම. මගේ දුරකථනයට වගේම ඔබේ දුරකථනයටත් විවේකයක් දෙනවා අපි. ඒත් ඒ හුදෙකලාවට අපි කොයිවෙලාවකවත් කැමති නෑ. පුළුවන් හැමවෙලාවෙම අපි දොඩමලුවෙන්න උත්සාහ ගත්තා.

මම ගොඩක් කල් ඉඳලා ඔයාට කැමැත්තෙන් හිටියේ. කතානොකර උනත් මම ඔයා දිහා බලන් ඉන්න ආසා කරා. මොන දේ කීවත් මම හිනා වෙවී ඔයත් එක්කම ඉන්න උත්සාහ කරේ. ඒත් මම හිතුවේ නෑ කවදාවත් මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න පුළුවන් වෙයි කියලා.
ඔයා කියාගෙන කියාගෙන ගියා. ඔයාට මොකක් කියන්නද කියලා හිතාගන්න බැරිව මම අසරණ වුණා.

ඒත් මේක කවදාවත් කරන්න බැරි වෙයි. අන්තිමට මම අමාරුවෙන් වචන අහුලා ගත්තා. ඔයා හෙමීට සුසුමක් පා කරලා ඇරිලා. ඔයා දැනගෙන හිටියා ඒකට හොඳටම හේතු. තවත් ඒ දේ ගැන පැහැදිලි කරලා දෙන්න මම උත්සාහ කරේ නෑ.

මම නිස්කලංකයේ ඔහු ගැන හිතන්න ගත්තා. මොකක් වුණත් මාත් ඔහු ගැන උනන්දු වෙලා තියෙනවා කියලා හිත, මගේ අහුමුලු අවුස්සලා හොයලා දුන්නා. හැම මොහොතකම මගේ හැමදෙයක් වෙනුවෙන්ම ඔහු කැපවෙලා තිබුණා. මාත් දුර ඉදන් ඒ ඇසුර ප්‍රිය කරලා තියෙනවා කියලා දැනෙද්දි තව දුරටත් හිත හංගාගෙන ජීවත්වෙන්න බෑ කියලා දැනෙන්න ගත්තා. අපි දොඩමළු වුණා. ගොඩක්වෙලාවට හිත්වලින්. දුරකථනයෙන්. අපි හැම මොහොතකම මුණ ගැණෙන, සේවා ස්ථානයේදිවත් අපි අපි ගැන කථා කරේ නෑ. ඒත් හැන්දෑවට සීතල වතුරෙන් නාලා බැල්කනියට යන මම දුරකථනය අතේ තියාගෙන බලාගෙන උන්නා. ඒ ඔයා වෙනුවෙන්. වෙලාවකට රාත්‍රියෙන් කොටසක් ගෙවිලා කියලාවත් ඉරු උදාවෙන්න ළඟයි කියලාවත් අපිට දැනුණේ නෑ. අපි අපිටත් හොර රහසෙම ආදරේ කරන්න අරගෙන. ඒත් ගොඩක් හිතුවොත් හිත රිදෙන කථාවක චරිත දෙකක් ද කියලා නොහිතෙන අවස්ථා නැතිව නෙවෙයි. ඒත් ඒ ආදරේට ලෝබකම් කරන්න පටන් අරන්.

මම ඔබ හැර යන්නට වෙහෙස දැරුවෙමි. එහෙත් ඔබ මට තදින් බැඳී සිටී. මා කිසිදින නොසිතූ ලෙස ඔබේ මුළු ජීවිතයම මා පමණක්ම හැඟෙන ලෙසට ඔබ මට ආදරය කරයි. විටෙක මට ඔබේ ආදරය දරාගත නොහැකිය. ඒ ආදරයම ඔබේ වේදනාව වනු ඇතැයි මා බිය ගත්තෙමි. එහෙත් මා ඔබට ඔබේ ජීවිතය වි හමාරය.
පුංචි පැටව් පිරුණු සුන්දර පවුලකට ඔයා ආසා කරා. ඒත් ඒ හීනවලට පණදෙන්න ශක්තියක් තියෙයිද කියන්න මම දැනන් උන්නේ නෑ. හැමදෙයක් දිහාම සෘණාත්මකව බලපු මට දවසක ඔයාගේ උණුසුමට ගුලිවෙන්න පුළුවන් වෙයි කියලා හිතුණේ නෑ. ඒත් මේ හැමදෙයක්ම තාවකාලිකයි. දවසක අපිට වෙන් වෙන්න වෙනවා කියන සිතුවිල්ල ඔයාගේ ලොකු ආදරෙන් මකලා දාන්න පුළුවන්කමක් නෑ. ඒත් ඔයාගේ ආදරේ නිසා මම තව තවත් ජිවිතේට ආසා කරන්න ගත්තා.

මම දවසින් දවස අසනීප වෙන්න ගත්තා. ඔයා මාව ඔයාගේ උරහිසට වාරුකරගෙන හෙමීට ඔලුව අත ගාද්දි දැනුනේ කියාගන්න බැරි සනීපයක්. තුරුළු කරගෙන රැය පහන් කරා. මම ඒ ආදරේට ලෝබයි. කුස තුළ ගැහෙන ජීවිතෙත් එක්කම මගේ ජීවිතේ නතර වෙන මොහාත ඉක්මනටම එන බව අපි දැනන් උන්නා. මට තාමත් මගේ හිතට දැනෙන්නේ කෝපයක්. ඔයාගෙන් මම ඈත් වෙලාම උන්නනම් ඔයාට දුකක් නොවෙන්න තිබ්බා. දැන් ඔයාට මගේ ආදරේ ලැබිලත් හැමදාටම ඔයා ළඟම මාව තියාගන්න බැරිව විඳවනවා. ආදරේටවත් මරුවා පරද්දන්න බෑ කියලා මම දැනන් උන්නා. ඔයා මගේ ආදරේ තුරුළු කරගෙන මගේ මතකයත් එක්කම අඩයි. එදාට ඔයාව සනසන්න මම එයා ළඟ නෑ. මගේ හිත ගතින් නැඟෙන වේදනාවට වඩා වේදනාවෙන් ඉකිබිඳින්න ගත්තා. ඔයා වගේම මම ඔයාටත් ආදරෙයි. මේ ආත්මේ බැරි වුණාට මේ පුංචි සිඟිත්තා එක්ක මම ඔයාව හොයාගෙන ලබන ආත්මෙක එන්නම්.


** මිථිලා හේමචන්ද්‍ර **